දැල්පන්දු පුහුණුකාරිනියට අනුමැතිය ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි ‘අද’ට වාර්තා වේ. මීට හේතුව වී ඇත්තේ ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වූ හිටපු ජාතික පුහුණුකාරිනියක වන හයසින්ත් විජේසිංහ මහත්මිය ගොනුකළ අභියාචනාව විමර්ශනය කර අවසන් නොවීම හේතුවෙනි.
එමෙන්ම මේ වනවිට විදෙස්ගතව සිටින දැල්පන්දු සංගමයේ සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මිය පැමිණ කරුණු දක්වන තෙක් මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් නොමැති බව හෙළිවේ.
ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය තෝරාගැනීමේ ක්‍රියාවලිය නීත්‍යනුකූලව පැවැත්වූයේ නැතැයි චෝදනා කරමින් ඊට මුහුණදුන් පුහුණුකාරිනියක් වන හයසින්ත් විජේසිංහ මහත්මිය පසුගියදා (09දා) අභියාචනාවක් ඉදිරිපත් කළ අතර, එම අභියාචනය විමර්ශනය කිරීම ඊයේ (14දා) පෙරවරු 11.00ට ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුවිය.
ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය නියෝජනය කරමින් එහි ලේකම් ජයන්ති සෝමසේකරම් මහත්මිය මෙම අභියාචනාව විමර්ශනයට එක්ව සිටි අතර, හයසින්ත් විජේසිංහ මහත්මිය ඉදිරිපත්ව සිටියේ නීතිඥ ප්‍රතිභා මහානාම මහතා සමගිනි.
අභියාචනය විමර්ශනය සම්බන්ධයෙන් අප හිටපු ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ මහත්මියගෙන් කරුණු විමසා සිටි අතර, ඇය පැවසුවේ, අනාගතයේදී දැල්පන්දු ක්‍රීඩාවට පමණක් නොව අනෙකුත් ක්‍රීඩාවන්ටද නිවැරදි ගමන්මගක ගමන් කිරීමට මෙමගින් නිවැරදි මාර්ගයක් එළිපෙහෙළි වනු ඇති බවයි.
ජාතික දැල්පන්දු පුහුණුකාරිනියට අනුමැතිය ලබාදෙන්නේ දැයි අප ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමක් කළ අතර අමාත්‍යවරයා පවසා සිටියේ, අභියාචනා ක්‍රියාවලිය අවසන් වූ සැණින් එහි නිර්දේශ මත අනුමැතිය ලබාදීමට පියවර ගන්නා බවයි.
හයසින්ත් විජේසිංහ මහත්මියගේ අභියාචනයේ දැල්පන්දු පුහුණුකාරිනිය තෝරාගැනීමට අදාළ සම්මුඛ සාකච්ඡා මෙහෙයවන නිලධාරී මඬුල්ලට (Panel) දැල්පන්දු සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මියට සහභාගි විය හැකි වුවද එය මෙහෙයවිය නොහැකි බව දැක්වේ. ඒ අයදුම්කරුවෙකුට යම්කිසි ගැටලුවක් පැනනැගුණු විටදී එය සාකච්ඡා කිරීමට සංගමයේ සභාපති සිටිය යුතු වීම හේතුවෙනි.
එනිසා සභාපතිනිය මුලසුන දැරීම සදාචාරාත්මක නොවන බව ඇය පවසන්නීය. එමෙන්ම සම්මුඛ පරීක්ෂණය මෙහෙයවූ නිලධාරී මඬුල්ලට ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ දැල්පන්දු සංගමයේ සෙසු බලතල දරන නිලධාරිනියන්ගෙන් අනුමැතියක් හිමිව නැතැයිද ඇය සඳහන් කරන අතර, පුහුණුකරු තෝරාගැනීමට අදාළ සම්මුඛ සාකච්ඡාවේදී අවසන් වසර 05 තුළදී දැක්වූ දක්ෂතා (දේශීය සහ විදේශීය) වෙනුවට වසර 5-10ත් අතර දක්ෂතා පිළිබඳව සොයා බැලීමෙන් අනෙකුත් පුහුණුකාරිනියන්ට අසාධාරණයක් වූවා යැයිද ඇය චෝදනා කරන්නීය.
අභියාචනා විමර්ශනය සම්බන්ධයෙන් අප ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ මහතාගෙන් කරුණු විමසා සිටි අතර, ඔහු පැවසුවේ, මෙම අර්බුදයේදී නීතිමය කාරණා ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් සිදුව ඇතිදැයි විමර්ශනය කරන බවයි. එමෙන්ම දැල්පන්දු සංගමයේ සභාපතිනිය මේ වනවිට විදෙස්ගතව සිටින හෙයින් ඇය පැමිණ කරුණු දක්වන තෙක් මෙම ගැටලුවට අවසන් විසඳුමක් ලබාදිය නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.
"අපි අභියාචනය තවදුරටත් විමර්ශනය කරනවා. දැල්පන්දු සභාපතිනිය විදෙස්ගතව සිටින බව සංගමයේ ලේකම්තුමිය අපට දැන්වුවා. විදෙස්ගතව සිටින සභාපතිනිය නැවත පැමිණි පසු අපි ඇයගෙන් විමර්ශනයට අවශ්‍ය තොරතුරු ලබාගන්නවා. එහෙත් ඇය නැවත පැමිණෙන දිනයක් අපිට දන්වලා නැහැ.
අපි ලේකම්තුමියට උපදෙස් දුන්නා ඇය පැමිණෙන දිනයක් අපිට දන්වන ලෙස. අපිට අවසන් තීරණයක් ගන්න වෙන්නේ ඉදිරිපත් වන කරුණු දිහා බලලයි. ඒවගේම නීතිමය කරුණු උල්ලංඝනය වෙලා තිබෙනවා නම්, අපිට ඒ පිළිබඳව නිසි තීරණ ගන්න වෙනවා" යැයි මිල්ටන් අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගියදා පැවති දැල්පන්දු ජාතික පුහුණුකාරිනිය තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙන් වැඩි ලකුණු ලබා ඊට නිර්දේශ වී සිටියේ වත්මන් බෘෘනායි දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය වන තිලකා ජිනදාස මහත්මියයි.