සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (16දා) අබුඩාබිහිදී පැවැත්වේ. පසුගියදා (13දා) පැවැති පළමු එක්දින තරගය ලකුණු 83කින් ජයගත් පාකිස්තානු කණ්ඩායම 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.
පළමු තරගයට පෙර අප සඳහන් කර සිටියේ කාසියේ වාසිය හිමිකර ගතහොත් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම නුවණට හුරු බවය. ඒ පාකිස්තානු වේග පන්දු යවන්නන් රාත්‍රී කාලයේදී පන්දුවේ වැඩි දෝලනයක් ලබාගන්නා හෙයින් එය ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් බැවිනි. පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳවැටුණු කඩුලු 08න්, 06ක්ම දවාගත්තේ වේග පන්දු යවන්නන් බැවින් එය මනාවට පැහැදිලි වේ. සුරංග ලක්මාල් සහ ළහිරු ගමගේ මේ වනවිට ඉදිරිපත් කරමින් සිටින දක්ෂතා දෙස අවධානය යොමුකළේ නම්, ශ්‍රී ලංකා කණ්ඩායමටද පාකිස්තානු වේග පන්දු යවන්නන් මෙන් දක්ෂතා දැක්වීමට අවස්ථාව තිබිණි.
තවද සන්ධ්‍යා කාලයට සාපේක්ෂව රාත්‍රී කාලයේදී දඟපන්දු යවන්නන්ගේ පන්දු යම් වේගයක් සහිතව පහතින් ගමන් කරන බැවින්, අකිල ධනංජයගෙන්ද වැඩි ප්‍රයෝජනයක් ගත හැකිව තිබිණි. එයට හොඳම උදාහරණය මොහොමඩ් හෆිස්ගේ පන්දු යැවීම දැක්විය හැකිය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පිතිකරුවන් පිළිබඳ වැඩි විශ්වාසයක් තබා ප්‍රථමයෙන් පන්දු යැවුවද, දෙවැනි වරට පන්දු යවමින් පාකිස්තානු පිතිකරුවන් පීඩනයට හසුකර ගැනීමට තිබූ අවස්ථාව මගහැර ගත් බව අපගේ අදහසයි.
දිනේෂ් චන්දිමාල් අංක 03 ස්ථානයේ පන්දුවට පහරදීමට යොදාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිරිතක් වශයෙන් සිදුකරමින් සිටින විශාල වැරැද්දක් පළමු තරගයේදීද සිදු කළේය. චන්දිමාල්ට අංක 03 ස්ථානය ලබාදිය යුතු අවස්ථාවේදී ලබානොදී, ඔහු අංක 05 ස්ථානයේ ස්ථාවර වූ පසු නැවත අංක 03 ස්ථානයේ පන්දුවට පහරදීමට යොදා ගැනීම අනුමත කළ නොහැකිය. තවද චන්දිමාල් යනු කඩාවැටුණු ඉනිමක් නැවත ගොඩනැගිය හැකි පිතිකරුවෙකු බැවින් මේ වනවිට චන්දිමාල්ට සුදුසුම ස්ථානය අංක 04 හෝ අංක 05 යැයි අපගේ විශ්වාසයයි.
එමෙන්ම කුසල් මෙන්ඩිස් අවස්ථා දෙක තුනකදී හැරෙන්නට අංක 03 ස්ථානයේ හොඳින් ලකුණු රැස් කරමින් සිටි පිතිකරුවාය. එවැනි තත්ත්වයක් තුළ ඔහු අංක 05 පිතිකරුවා ලෙස පන්දුවට පහරදීමට යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකිය. කුසල්ගේ පන්දුවට පහරදීමේ ස්ථානයන් විටින්විට වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු පීඩනයට හසුව ඇති ආකාරයක් දැකගත හැකිය. කුසල්ගේ මෙම පසුබෑමට නායක උපුල් තරංග මෙන්ම කණ්ඩායම් කළමනාකාරීත්වයද වගකිව යුතු යැයි අපගේ හැඟීමය. එහෙයින් කුසල්ට පහසු අංක 03 ස්ථානය නැවත වරක් ලබාදී ලකුණු අතරට පැමිණීමට අවශ්‍ය වටපිටාව සකසා දිය යුතුව ඇත.
පිතිකරුවන් ලකුණු අතර සිටි ස්ථානයන් වෙනස් කරමින් ඔවුන් අසාර්ථක කර මේ වනවිට ආබාධයක් හේතුවෙන් සංචිතයට ඇතුළත්ව නොමැති ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානය කෙසේ හෝ ආරක්ෂා කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය උත්සාහ කරමින් සිටින වටපිටවක් දැකගත හැකිය. එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කරන බරපතළ වැරැද්දකි. එහෙයින් මේ වනවිට කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ට ඔවුන් හොඳින් ලකුණු රැස්කරන ස්ථානයන් නැවත වරක් ලබාදී කණ්ඩායම වෙනුවෙන් ජයග්රහණයන් අත්පත් කරගනිමින් පිතිකරුවන්ගේ විශ්වාසයද ඉහළ නංවා ගැනීමට උත්සාහ කළ යුතුය.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30 ආරම්භ වේ.