ශ්‍රී ලංකා බර ඉසලීමේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ යොවුන්, කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ බර ඉසලීමේ තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්වූ අතර, ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයේ ශූරතාවද ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දිනාගත්තේය.
ජ්‍යෙෂ්ඨ පිරිමි අනුශූරතාව යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් දිනාගත් අතර, මෙම අංශයේ දක්ෂතම ක්‍රීඩාකයා ලෙස ගුවන් හමුදාවේ තිලංක පළඟසිංහ සම්මාන දිනාත්තේය. නාවික හමුදා ක්‍රීඩා සමාජයට එහි අනුශූරතාව හිමිවූ අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ හංසනී ගෝමස් සම්මාන දිනාගත්තාය.
ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා නේවාසිකාගාර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා (29දා) නිමාවට පත්වූ මෙම තරගාවලියේ කි.ග්රෑ. 77 බර පන්තියෙන් තරගකළ ඉන්දික දිසානායක ඔහුගේම වාර්තාවක් බිඳදමමින් ස්නැක් ක්‍රමයට කි.ග්රෑ. 137ක බර ඔසවා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය. මෙහි පෙර වාර්තාව කි.ග්රෑ. 136ක් විය. මෙහිදී ඉන්දික සිය ක්‍රීඩා දිවියේ පළමු වරට ඔහු එසවූ සමස්ත බර ප්‍රමණය කි.ග්රෑ. 300ක් දක්වා ඉහළ දමාගත් අතර, අඩු බර පන්තියක ක්‍රීඩකයෙකු එවැනි බරක් එසවීම සුවිශේෂී වේ. මෙරට බර ඉසිලීමේ ක්‍රීඩා ඉතිහාසයේ සමස්ත බර ප්‍රමාණය පසුකර ඇත්තේ ක්‍රීඩකයන් අතළොස්සකි.
මෙහිදී කි.ග්රෑ. 85 බර පන්තියේ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට චින්තන විදානගේද සමත් විය. මෙම බර පන්තියේ ශ්‍රී ලංකා වාර්තාව ලෙස කි.ග්රෑ. 299ක සමස්ත බරක් ඔසවා ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාව, කි.ග්රෑ. 300ක් දක්වා ඉහළ දමා චින්තන සිය වාර්තාව අලුත් කළේය.එමෙන්ම උශාන් චාරුක විදානපතිරණ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්රෑ. 181ක් ඔසවා කි.ග්රෑ. 105 බර පන්තියේ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූ අතර, කි.ග්රෑ. 180ක් ඔසවා පිහිටුවා තිබූ ඔහුගේම වාර්තාව මෙහිදී බිඳ දැමීය.
මීට අමතරව ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වාදුන් බර පන්තියක් වූ කාන්තා කි.ග්රෑ. 95ට වැඩි පන්තියෙක් තරග කළ ධම්මිකා හරිස්චන්ද්‍ර එම බර පන්තියේ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.
මෙහි වයස 20න් පහළ (කනිෂ්ඨ) පිරිමි ශූරතාවට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩා සමාජය හිමිකම් කියූ අතර, අනුශූරතාව ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හිමිවිය. එහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස යූ.ආර්.ආර්. ජයසේන සම්මාන දිනුවේය.
වයස 20න් පහළ කාන්තා ශූරතාව පොළොන්නරුව ක්‍රීඩා සමාජයට හිමිවිය. කෙසේ නමුත් මෙහි අනුශූරතාව ක්‍රීඩා සමාජ 04ක් අතරේ බෙදී ගිය අතර, එය යුද හමුදා, ගාල්ල, යාපනය හා මහනුවර හෙල්ත් සෝන් යන බර ඉසිලීමේ ක්‍රීඩා සමාජයන්ට හිමිවිය.
ඩී.එම්.එස්. සමරකෝන් (මහනුවර හෙල්ත් සෝන් ක්‍රී.ස.) මෙම වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තාය. වයස 17න් පහළ (යොවුන්) වයස් කාණ්ඩයේ පිරිමි ශූරතාව පොළොන්නරුව බර ඉසිලීම ක්‍රීඩා සමාජය දිනාගත් අතර, එහි කාන්තා ශූරතාව යාපනය බර ඉසිලීම ක්‍රීඩා සමාජයට හිමිවිය. එහි පිරිමි අනුශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල දිනාගත් අතර, කාන්තා අනුශූරතාව පොළොන්නරුව බර ඉසිලීම ක්‍රීඩා සමාජයට හිමිවිය.
වයස 17න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගල්ගමුව බර ඉසිලීම ක්‍රීඩා සමාජයේ එස්.යූ.ඩබ්.කේ.ආර්. සුපුන් දිල්හාර සෝමතිලක හා යාපනය බර ඉසිලීම ක්‍රීඩා සමාජයේ වී. අර්ෂිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්හ.