වේග පන්දු යවන්නන් තමයි තරගය වෙනස් කළේ - බංග්ලාදේශ නායක මෂ්රෆි මොර්ටාසා
දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා නොවුනානම් තරගාවලියේ ජයග්රහණයකරා යාමට හැකියාව තිබූ බවත්, කෙසේනමුත් මෙම ජයග්‍රහණය විස්සයි20 තරගාවලියට හොඳ ධෛර්යයක් බවත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පැවසීය.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පෙරේදා (01දා) පැවති තෙවැනි හා අවසන් තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී තරංග මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ තරංග,
''තරගයේ ආරම්භය ඉතා හොඳ වුණත්, ඉනිමේ මැද හරියට එනකොට ඒ (ආරම්භයෙන් ලැබුණු) ශක්තිය අපෙන් ගිලිහී ගියා. දුවද්දී දැවීයාම් දෙකෙන් පස්සෙ අපිට ලකුණු 280 සීමාවටත් යන්න අමාරුවෙන් හිටියෙ. නමුත් ඉන් අනතුරුව තිසර ඔහුගේ පරිණතභාවය පෙන්නුම් කළා. 280 කියන්නෙත් හොඳ ලකුණු සංඛ්‍යාවක්. බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක කඩුලු තුන ඉක්මනින් බිඳවැටීමද ඔවුන්ට ලකුණු හඹායාමේදී අභියෝගයක් වුණා'' යැයි පැවසීය.
එමෙන්ම මෙම ලැබූ ජයග්‍රහණය විස්සයි20 තරගාවලියේ ජයග්රහණයටද ධෛර්යයක් වනු ඇතිබව හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
''අවාසනාවට තරගාවලියේ දෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා නොවුනා නම් අපිට තරගාවලියේ ජයග්‍රහණයක් කරා යන්න තිබුණා. නමුත් මෙම ජයග්‍රහණය අපිට විස්සයි20 තරගාවලිය වෙනුවෙන් හොඳ ධෛර්යයක් වෙයි. එම තරගාවලියේදී අපිට අත්දැකීම් සහිත පන්දු යවන්නන්, විශේෂයෙන් ලසිත් මාලිංගත් ඉන්නවා.
පළමු තරගයට සංචිතය නම් කරද්දී මම දැනගෙන හිටියෙ නැහැ එහි පිට දඟ පන්දු යවන්නෙකු නැහැ කියල. ඔවුන්ගේ ලකුණු අතර හිටියේ වමත් පිතිකරුවන්. එමනිසා මම ඉල්ලීමක් කළා, පිට දඟ පන්දු යවන්නෙක්ව අවශ්‍යයි කියා'' යැයි පැවසීය.
තරගාවලිය පුරාම දුර්වල මට්ටමක තිබූ ශ්‍රී ලංකා පන්දු රැකීම හා කඩුලු අතර දිවීම පිළිබඳ අදහස් දැක්වූ තරංග,
''පහුගිය සංචාර දෙකේදී අපි හොඳට පන්දු රැක්කෙ නැහැ. අපි ගොඩක් කථාවුණේ වැරදීම් ගැන බයවෙන්න එපා කියල. පුහුණුවීම් වලදීද අපි කළේ, සියලු දෙනාගේ බය නැති කරපු එක. හැංගිල හිටියොත් අපිට කවදාකවත් දියුණු වෙන්න බෑ. නමුත් හැමෝටම වගේ පන්දු රැකීම පිළිබඳ පිපාසයක් තිබ්බා.
කඩුලු අතර දිවීම අපි ලේසියට ගත්ත වගේ වුණා. විශේෂයෙන් දෙවැනි තරගයේදී මගේ දැවීයාම හා තෙවැනි තරගයේදී චන්දිමාල්ගේ දැවී යාම. අවසන් පන්දුවාර දෙකේ සිදුවන දුවද්දී දැවී යාම්වලට සමාව දිය හැකි වුවත්, පොඩි පොඩි බොළඳ වැරදි කරන්න බැහැ'' යැයි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ බංග්ලාදේශ නායක මෂ්රෆි මොර්ටාසා,
''හොඳ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් තමයි තරගය වෙනස් කළේ. ලකුණු 11කට කඩුලු 03ක් වැටිල තියෙනකොට ගොඩ එන්න අමාරුයි. නමුත් සකිබ් හා සෞම්‍යට අවස්ථාව තිබ්බ ජයග්‍රහණය වෙත ගමන්කරන්න. නමුත් සකිබ් එකදිගට පන්දුවට මුහුණ දීල ගොඩක් මහන්සි වුණා. එම දැවීයාම්වලින් පස්සෙ අපි කණ්ඩායමේ කිසිම ජයග්‍රාහී සම්බන්ධතාවයක් දැක්කෙ නැහැ'' යැයි පැවසීය.