සංචාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බ.ඉ. කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (14 දා) සාන්ත. ලුසියාහි ඩැරන් සාමි පිටියේදී ඇරඹේ.
පසුගියදා (10දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 226ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට බ.ඉ. කොදෙව් ක්‍රීඩකයන්ට හැකිවිය. ඒ අනුව 1-0ක් ලෙසින් ඔවුන් තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි. බ.ඉ. කොදෙව් දේශයේදී තරගාවලි ජයක් බලාපොරොත්තුවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට නම් අදින් ඇරඹෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගන්නට සිදුවේ.
දෙරට අතර පැවැති පළමු තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වු දුර්වල පන්දු රැකීම තරගයේ පරාජයට ප්‍රධානම හේතුව විය. එහෙයින් ලැබෙන සෑම පහසු අවස්ථාවක්ම තමන්ගේ වාසියට හරවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උත්සාහ කළ යුතුය. එමෙන්ම අර්ධ අවස්ථාවන්ද ලබාගනිමින් කණ්ඩායමේ පන්දු යවන්නන්ට හැකි සෑම සහයෝගයක් ලබාදීම පන්දු රකින්නන්ගේ වගකීමය.
අබාධයෙන් පසුව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි අතර, ලහිරු ගමගේද අබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. ඔවුන් දෙදෙනා වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක සහ දසුන් ශානක කණ්ඩායමට කැඳ වූ බවද එම නිවේදනයේ දැක්විණි.
කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු කාලය එළැඹී ඇති බවයි. අබාධයෙන් පසුව කණ්ඩායම සමග එක් වූ මැතිව්ස් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ අයුරු හොඳින් අධ්‍යයනය කළේ නම් ඔහු ඒ සඳහා කිසිදු සූදානමකින් නොසිටි බව වටහා ගැනීමට එතරම් අපහසු නැත.
තීරණාත්මක උඩ පන්දුවක් අතහළ මැතිව්ස් පන්දුවට පහර දුන්නේද කිසිදු විශ්වාසයකින් තොරවය. විශේෂයෙන්ම මැද කෙටී වේගයෙන් ඉපිල එන බවුන්සර් පන්දුවට මැතිව්ස් මුහුණදුන්නේ දැඩි අපහසුවෙනි. මේ නිසා මැතිව්ස් මෙම තරගාවලියේ ඉදිරි තරග සියල්ලම ක්‍රීඩා කළේ නම් බොහෝ දුරට අසාර්ථක වන්නට ඉඩ තිබූ අවස්ථාව වැඩිය. මේ නිසා පෞද්ගලික හේතුවක් යැයි සඳහන් කරමින් මැතිව්ස් තරගාවලියෙන් ඉවත් වූයේද යන්න පිළිබඳව සැක මතුවේ.
එපමණක් නොව ඉදිරියේදී මෙරටදී පැවැත්වීමට නියමිත ද.අප්‍රිකානුවන්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී නැවත වරක් මැතිව්ස් කණ්ඩායම සමගින් එක්ව තමන්ට හුරු පුරුදු තණතීරුවලදී ලකුණු අතර පැමිණ තවත් වසරක් සඳහා කණ්ඩායමේ ස්ථානය වෙන්කර ගැනීමේ යම් සැලැස්මක් ක්‍රියාත්මක නොවන්නේ යැයි කිසිවෙකුටවත් කිව නොහැකි තත්ත්වයක් මේ වන විට උත්ගතව ඇත.
මැතිව්ස් කණ්ඩායම සමගින් එක්වීම නිසා කණ්ඩායම සමබර කරගැනීම ගැටලුකාරී වුවද මේ වන විට මැතිව්ස් කණ්ඩායමේ නොමැති බැවින් අද තරගයට ධනංජය සිල්වා නියත වශයෙන්ම ක්‍රීඩා කරනු ඇත. ඒ අනුව අංක 03 ස්ථානයේ ධනංජය ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැක. ඒ අනුව නායක චන්දිමාල්ට අංක 04 හෝ අංක 05 ස්ථානයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව සකසා ගත හැක. එය ඔහුට මෙන්ම කණ්ඩායමටද හිතකරය.
එහෙත් ලහිරු ගමගේ වෙනුවට අද තරගයට ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකය. යම් කිසි විදිහකින් අවස්ථාවක් පවතින්නේ නම් ඔහුගේ ස්ථානයට සුදුසුම ක්‍රීඩකයා වන්නේ දසුන් ශානක බව අපගේ විශ්වාසයයි. එහෙත් දීර්ඝ ගුවන් ගමනකින් පසුව ඔහු අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ නොහැක. එහෙයින් කණ්ඩායමේ පිතිකරණ සංයුතිය තව තවත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා ඇති එකම පිළිතුර වන්නේ මහේල උඩවත්තය. ධනංජයට පන්දුවාර කිහිපයක් යැවිය හැකි බැවින් දෙවැනි තරගයට මහේල කැඳවූවද එහි ගැටලුවක් නොමැත. එහෙත් ලහිරු ගමගේ වෙනුවට වේග පන්දු යවන්නෙකු කැඳවන්නේ නම් එම අවස්ථාව අසිත ප්‍රනාන්දුට හිමිවීමට වැඩි අවස්ථාවක් පවතී.
පළමු තරගයේ පළමු ඉනිමේදී නිරෝෂන් දික්වැල්ල කඩුලු අතර දිව යාමේදී දැක් වූ අලස ස්වභාවය ගැන ඔහු නැවත නැවතත් සිතිය යුතුය. මන්ද යම් ස්ථාවරත්වයක් ගොඩනගා ගනිමින් සිටි පිතිකරුවෙකුගේ දැවීයාම කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි. එහෙත් ඔහු පමණක් නොව සෙසු ක්‍රීඩකයන්ද එවැනි අතපසුවීම් සිදුනොවීමට වගබලාගත යුතුය.
සාන්ත. ලුසියාහි ඩැරන් සාමි පිටිය පිතිකරුවන්ට හිතකර තණතිල්ලක් වුවද පළමු සහ දෙවැනි දින වේග පන්දු යවන්නන්ට සහායක් දක්වන බැවින් එම දින දෙකේදී වේග පන්දු යවන්නන් ඉදිරියට පැමිණෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙයින් කාසියේ වාසිය හිමිකරගනිමින් දෙවැනි වරට පන්දුවට පහර දෙන්නේ නම් දෙවැනි දිනයේ දිවා විවේකයෙන් පසුව සහ සිව්වැනි දිනයේ දිවා විවේකය දක්වා අතර කාලය පිතිකරුවන්ට හිතකරය.
කෙසේ වෙතත් සිව්වැනි දිනයේ සන්ද්‍යා සමයේ සිට අවසන් දිනයේදී දඟපන්දු යවන්නන්ට තණතීරුවේ සහාය ලබාගත හැකි බැවින් දෙවැනි වරට පන්දුවට පහර දෙන්නේ නම් ශ්‍රී ලංකා පිතිකරුවන් දේවේන්ද්‍ර බිෂුගෙන් පරිස්සම් විය යුතුය. මන්ද බිෂූ මෙම පිටියේදී හොඳින් දක්ෂතා දක්වා ඇති දඟපන්දු යවන්නෙකු බැවිනි. තවද කෙමාරෝච් ද බ.ඉ. කෙදෙව් කණ්ඩායම වෙනුවෙන් මෙම පිටියේදී දක්ෂතා දක්වා ඇති පන්දු යවන්නෙකි.