ශ්රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මයිලෝ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ (20න් පහළ) රග්බි තරගාවලියේ ජනාධිපති, අගමැති හා සභාපති කුසලාන යන සියලුම කාණ්ඩයන්හි අවසන් මහා තරග අද (23දා) සහ හෙට (24දා) පැවැත්වේ.
මෙහි සභාපති කුසලානයේ අවසන් තරගය කුරුණෑගල ශා. ආනා හා කොළඹ කේරි විදුහල් අතර අද (23දා) සවස 2.00ට පැවැත්වේ. අගමැති කුසලානයේ අවසන් තරගය කොළඹ ආනන්ද හා කුරුණෑගල මලියදේව විදුහල් අතර අද සවස 4.00 ට පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරග කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවැත්වේ.
කෙසේ වෙතත් මෙවර තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් තරගය වන්නේ කොළඹ ඉසිපතන හා මරදාන ශා.ජෝශප් අතර හෙට (24දා) පැවැත්වෙන ජනාධිපති කුසලාන අවසන් මහා තරගයයි. මෙම තරගය පස්වරු 7.00 ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.
වසර 32ක ජනාධිපති කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ශූරතාවන් ප්රමාණයක් (10 වරක්) දිනා ඇති මෙන්ම, පසුගිය වර ශූරතාවද දිනාගත් කොළඹ ඉසිපතන විදුහල මෙවර අවසන් සටනට සුදුසුකම් ලබාගත්තේ 23 වැනි වතාවටය. කෙසේ නමුත් ඔවුන්ගේ ප්රතිවාදීන් වන ශා. ජෝශප් විදුහල අවසන් මහා තරගයට මෙවර සුදුසුකම් ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවටය.
ඉසිපතන විදුහල මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ශා. අන්තෝනි විදුහලද, අවසන් පූර්ව වටයේදී ශා.පීතර විදුහලද පරාජය කිරීමට සමත්විය.
එමෙන්ම ශා. ජෝශප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයේදී බොරැල්ල වෙස්ලි විදුහලද, අවසන් පූර්ව වටයේදී මහනුවර ධර්මරාජ විදුහලද පරාජය කිරීමට සමත්විය.