තමාගේ කළමනාකරුවීමට මත්තෙන් චාලි ඔස්ටින් මහේලගේ කළමනාකරු ලෙස කටයුතු කළ බවත් තමා චාලි ඔස්ටින්ට නොව චාලි ඔස්ටින් තමාට වැඩ කරන් බවත් සංගා පැවැසීය.ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් සංගා මේ බව සඳහන් කළේය.
Q බොහෝ අය පවසනවා චාල් ඔස්ටින්ගේ ක්‍රීඩක කළමනාකරණ මාෆියාවක් ගැන. එය වර්තමාන කණ්ඩායමට බලපෑම් කරනවා කියලත් කියනවා. මේ ගැන ඔබේ අදහස?
මට කිසිම බලයක් නැහැ කාටවත් රටට ගේන්න හෝ රටින් එළියට දාන්න. මං හිතන්නේ චාලි ඔස්ටින් කිව්වාම 2004 වගේ කාලේ ඉඳලා මම මගේ කළමනාකරු හැටියට ගත්තේ. ඊට පෙර ඔහු මහේල ජයවර්ධනගේ කළමනාකරු හැටියට හිටියා.
මම චාල් ඔස්ටින්ව බඳවා ගත්තේ මගේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්න දක්ෂතා දක්වන්න වෙනස් වූ එතැනින් එයාට යම් කිසි රාජකාරි හා අවස්ථා කළමනාකරණය කරගන්නයි. නමුත් චාලි ඔස්ටින් මාව බඳවා ගත්තේ නැහැ. මොකද චාලි ඔස්ටින් වැඩ කරන්නේ මට. මම චාලි ඔස්ටින්ට වැඩ කරන්නේ නැහැ.
ක්‍රීඩක කළමනාකරණය ලෝකයේ ක්‍රිකට් වලට අලුත්දෙයක් නොවෙයි. සියලුම රටවල හැම ක්‍රීඩකයෙක්ම තමන්ගේ පෞද්ගලික කළමනාකරුවෙක් හෝ කළමනාකරුවන්ගේ සමාගමකින් තමයි වැඩ කරන්නේ.
ජාතික ක්‍රිකට් වලට ඔබ්බෙන් තිබෙන වැඩ රාජකාරි වලට පමණයි ඔවුන් ඉන්නේ. ජාතික ක්‍රිකට් වලට කළමනාකරු එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපිට ලබාදෙන කොන්ත්රාත්තුවද අයි.සී.සී. ක්‍රිකට් වල කොන්ත්රාත්තුවද අපේ මේ කිසිම දේකට පෞද්ගලික කළමනාකරු සහභාගී වෙන්නේ නැහැ. ඔවුන්ට ඒකෙන් කොටසක් යන්නෙත් නැහැ.
ඔවුන්ට කිසිම බලපෑමක් කරන්නත් බැහැ. අනිත් එක මට හිනායන කරුණ චාල් ඔස්ටින් අපිව ලවා බලපෑම් කරනවා අපි නායකත්වයේ ඉද්දි හෝ දැන් හෝ දැන් ඉන්න නායකයෙක් ලවා කියන දේ. චාලි ඔස්ටින්ටත් වාසියක් නැහැ එහෙම කළා කියලා. ඔහුට ඒකෙන් මුදලක් ලැබෙන්නෙත් නැහැ.
මම නායකයෙක් නම් මගේ නායකත්වය රඳා පවතින්නේ තරග ජයග්‍රහණය මත. තරග පැරදුණොත් මගේ නායකත්වය ඉවරයි. මම දස්කම් දැක්වූවේ නැති වුණොත් මගේ ක්‍රිකට් දිවියත් ඉවරයි. මගේ රාජකාරිය තිබෙන්නේ කළමනාකරුවෙක්ගේ වුවමනාවට හෝ වෙන කෙනෙක්ගේ වුවමනාවට හෝ මම ආස කරන ක්‍රීඩකයා ගස්සන්න නෙමෙයි. ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකයන් කවුද කියලා මගේ අදහස ලබාදෙන්න තේරීම් කමිටුවට.
ඔබ ඔහොම කියනවා නම් මම වැඩ කරලා තිබෙනවා. අසන්ත ද මැල්, අරවින්ද ද සිල්වා වැනි තේරීම් කමිටු සභාපතිවරු එක්ක. ඒගොල්ලන්ටත් කරන නින්දාවක් මෙහෙම එළියේ ඉඳන් කවුරු හරි මෙහෙම කියන එක. මේක ඇත්තටම ගත්තොත් වෙන වෙන අයගේ වුවමනාවට අවශ්‍ය දෙය ගැන කතා නොකර කුමන්ත්‍රණයක් පිළිබඳව අපේ මනස යොමු කරලා ඇත්ත දේ කතා නොකර ඉන්න කරන ප්රයන්තයක් මේ. මගේ වෙන්නත් පුළුවන් මහේලගේ වෙන්නත් පුළුවන් අපේ චරිතයට හානි කරන්න මේ දේ කරන්න පුළුවන්. ඇත්ත නැත්ත හරියට කතා කරලා හරි අවබෝධයෙන් මේක බැලුවාම මේකේ කිසිම ඇත්තක් නැති බව ඉබේටම තේරෙනවා.
Q වත්මන් තේරීම් කමිටු සභාපතිවරයා පැවසූවා පසුගිය කාලේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තම ස්ථානයෙන් පහළට යාමට අකමැති වූ බවත්, එහෙත් උපුල් තරංග හැමවිටම ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට එකඟ වූ බවත්?
උපුල් තරංග ජ්‍යෙෂ්ඨ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහුගේ නියම ස්ථානය ආරම්භක පිතිකරු ස්ථානයයි. ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස ශතක 15 කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. නමුත් විවිධ අවස්ථාවල ඔහුට කණ්ඩායමේ ඉහළට පහලට යන්න වුණා. කණ්ඩායමෙන් එළියට යන්නත් වුණා. නමුත් වාසනාවකට ඔහු යළිත් කණ්ඩායම හා එක්වෙලා තිබෙනවා. මං හිතන්නේ ඔය ප්රශ්නය උපුල්ගෙනුත් ඇසිය යුතුයි.
මම ගත්තාම මගේ පිතිකරණ ඉතිහාසයේ මම ආරම්භක පිතිකරුවාගේ ඉඳලා අංක 09 වෙනකන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩා කරලා තිබෙනවා. 2007 ලෝක කුසලානයේදී මම අංක 04 ක්‍රීඩා කළා. දිනේෂ් චන්දිමාල් හොඳට ක්‍රීඩා කරද්දී මම ඔහුට අංක 03 දීලා මම අංක 04 ක්‍රීඩා කළා. සමහර වේලාවට මම අංක 05 ත් ක්‍රීඩා කළා.
ඒ දවස් වල එක් පුහුණුකරුවෙක් මට කිව්වා පන්දුව දෝලනය වනවා නම් ඔයා අංක 03 ගහන්න. තණතීරුව ක්‍රීඩා කරන්න පහසු නම් ඔයා අංක 04 ට ගිහින් අපි පොඩි කෙනෙක්ව අංක 03 දාමු කියලා. එහෙමත් කරලා තියෙනවා. අපි මේ සියලු චෝදනා බැලුවාම තේරුම් ගන්න ඕන තමන්ගේ පිතිකරණ ස්ථානය කුමක්ද කියලා. ඒ වගේම එතැන ඔබට වඩා දස්කම් දක්වන කෙනෙක් ඉන්නවාද කියලත් බලන්න ඕන.
මේ පිළිබඳ සම්පූර්ණ විස්තර හෙට (13දා) අද පුවත්පත සමගින් බලාපොරොත්තුවන්න..