සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි තරගය අද (18දා) අබුඩාබිහිදී පැවැත්වේ. අවසන්වූ තරග දෙකම ජයගත් පාකිස්තානු කණ්ඩායම මේ වනවිට තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි. එහෙයින් තවදුරටත් තරගාවලියේ රැඳී සිටින්නට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද පැවැත්වෙන තරගය ජයගැනීමට සිදුවේ.
එක්දින තරගාවලිය ආරම්භයේ දීම අප සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සැබෑ පරීක්ෂණය ආරම්භ වන්නේ එක්දින තරගාවලියේදී බවයි. ඒ ටෙස්ට් කණ්ඩායමට සාපේක්ෂව පසුබෑමක් ඇත්තේ එක්දින කණ්ඩායමේ බැවිනි. එම පසුබෑමට තවමත් නිසි පිළිතුරක් ලැබී නොමැත.
ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව වැනි කණ්ඩායම් සතුව සිටින වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකරුවන් අපට නොමැති නිසා එදා දිනයේදී පිටියේ ස්ථාවර වන ක්‍රීඩකයෙකු වටා ඉනිම ගොඩනගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ. පාකිස්තානු කණ්ඩායමට වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකරුවන් සියලු දෙනාම පළමු තරගයේ දී මෙන්ම දෙවැනි තරගයේ දී ද බාබර් අසාම් සමගින් එක්ව ක්‍රියාවට නැගුවේ ද එම ක්‍රමයයි.
දෙවැනි තරගයේදී කඩාවැටුණු පාකිස්තානු ඉනිම ගොඩනගන්නට බාබර් අසාම්ට මනා සහායක් ෂදාබ් ඛාන්ගෙන් ලැබුණි. එයද අප අමතක නොකළ යුතුය. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු ලකුණු 109ක සබඳතාව තරගයේ තීරණාත්මක ලකුණු සබඳතාව විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැටලුව වන්නේද එවැනි දීර්ඝ ලකුණු සබඳතා ඇති නොවීමයි. යම් හෙයකින් දෙවැනි තරගයේදී නායක උපුල් තරංගට සෙසු පිතිකරුවන්ගෙන් ඊට වඩා වැඩි දායකත්වයක් හිමිවූයේ නම් තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබුණි. පන්දු යවන්නන් හැකි උපරිමයෙන් පන්දු යවමින් පාකිස්තානු පිතිකරුවන් ලකුණු 219කට සීමා කළද, තරග ජය ගැනීමට නොහැකි වූයේ ඉහතින් සඳහන් කළ දුර්වලතාව හේතුවෙනි. දැන් සියල්ල සිදුව අවසන්ය. එබැවින් තෙවැනි තරගයේදීවත් පාකිස්තානු පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කරමින් විශාල ලකුණු සම්බන්ධතා එකක් හෝ දෙකක් ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් උත්සාහ කළ යුතුය. එසේ නොවන්නට තෙවැනි තරගයේ පරාජයද වැළැක්විය නොහැකිය.
මේ වනවිට ලකුණු අතර නොමැති දිනේෂ් චන්දිමාල්ට මෙන්ම, කුසල් මෙන්ඩිස්ටද අද තරගය ඉතා තීරණාත්මකය. මේ ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව විය හැක. එබැවින් අද තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිවුවහොත් චන්දිමාල්ට මෙන්ම මෙන්ඩිස්ටද අවම වශයෙන් අර්ධ ශතකයක්වත් වාර්තා කිරීමට සිදුවේ. එසේ නොවන්නට එක්දින කණ්ඩායමේ සිය ස්ථානයන් ගැන ඇති බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවේ. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයින් දෙදෙනා පන්දුවට පහරදෙන ස්ථානයන් විටින් විට වෙනස් කරමින් ඔවුන් පීඩනයට ලක්කල නිලධාරීන්ද ඔවුන්ගේ අසාර්ථකත්වය වගකිව යුතුය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් මේ අවස්ථාව වනවිට යම් රිද්මයක සිටින බැවින් කාසියේ වාසිය හිමිකරගතහොත් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම වඩා හිතකරය. විශේෂයෙන්ම සුරංග ලක්මාල් සහ ළහිරු ගමගේ හොඳ රිද්මයේ පසුවන බැවින් ඔවුන් ගැන විශ්වාසය තබා කණ්ඩායමේ සැලසුම් සකස් කරන්නේනම් වැඩි ප්‍රතිඵලයක් ලබාගත හැකි යැයි අපි විශ්වාස කරන්නෙමු. විශේෂයෙන් සන්ධ්‍යා සමයේදී තණතීරුව පන්දු යවන්නන්ට යම් හිතකර තත්ත්වයක් දක්වන බැවින් ඉන් ප්‍රයෝජනයක් ගැනීමට නායක උපුල් තරංග උත්සාහ කළ යුතුව ඇත.