ශ්රී ලංකා ක්රිකට් ආයතනය මගින් සංවිධානය කළ සුපිරි පළාත් (කණ්ඩායම් 04) සිවුදින පළමු පෙළ ක්රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරගයන්ට අනුව ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම සමත්ව සිටී.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් දඹුල්ල, නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් මහනුවර හා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම් අතර මෙම තරගාවලිය පැවැත්වේ.
කෙසේ නමුත් මෙතෙක් පැවැති තරගයන් අනුව කිසිදු කණ්ඩායමකට පූර්ණ ජයග්රහණයක් වාර්තා කිරීමට නොහැකි වී ඇති අතර, ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටින ගාල්ල කණ්ඩායම පළමු ඉනිමේ ජයග්රහණ දෙකකට හිමිකම් කියයි.
මෙහි දෙවැනි හා තෙවැනි ස්ථානයන්හි පසුවන දඹුල්ල හා මහනුවර කණ්ඩායම් තරගය බැගින් පළමු ඉනිමේ ජය හා පළමු ඉනිමේ පරාජ ලබා තිබේ. මෙහි අවසන් ස්ථානයේ පසුවන කොළඹ කණ්ඩායම ක්රීඩා කළ තරග දෙකේම පළමු ඉනිමේ පරාජ ලබා තිබේ.
මෙහි දෙවැනි සතියේ තරග දිවා/රාත්රී තරග ලෙස රෝස පන්දුවෙන් ක්රීඩා කළ අතර, මෙරට තුළ රෝස පන්දුවෙන් ක්රිකට් ක්රීඩා කළ පළමු අවස්ථාවද මෙය විය.
මේ වන විට පවත්වා අවසන්ව ඇති තරග අනුව ගාල්ල කණ්ඩායමේ රොෂේන් සිල්වා ලකුණු 278ක් ලබා ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවා ලෙස ඉදිරියෙන් සිටියි. එහි දෙවැනි ස්ථානයේ දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්රියන්ජන් (275) හා තෙවැනි ස්ථානයේ මහනුවර කණ්ඩායමේ මහේල උඩවත්ත රැඳී සිටිති.
මෙහි ඉහළම කඩුලු බිඳහෙළූ පන්දු යවන්නන් අතර දඹුල්ල කණ්ඩායමේ ළහිරු ගමගේ හා මහනුවර කණ්ඩායමේ කසුන් රාජිත කඩුලු 10 බැගින් බිඳහෙළා ඉදිරියෙන් සිටිති.