ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තරගයක් (Eliminator) ලෙස ඊයේ (17දා) රාත්‍රියේ බැංග්ලෝර්හිදී අවසන් වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 07ක ජයක් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.
චින්නසාමි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් කොල්කටා කණ්ඩායම පන්දුවට ප්‍රථමයෙන් පහරදීම සදහා හයිද්‍රාබාද් නායක ඩෙවිඩ් වොනර්ට ඇරයුම් කළ අතර, ඔවුන්ට පන්දුවාර 20 අවසනදී කඩුලු 07ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. එහිදී වොනර් ලකුණු 37ක් සහ කේන් විලියම්සන් ලකුණු 24ක් රැස්කිරීම හැරෙන්න වෙනත් පිතිකරුවෙකුට සාර්ථකවීමට කොල්කටා පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නේතන් කාල්ටර්-නයිල් ලකුණු 20කට කඩුලු 03ක් සහ උමේෂ් යාදව් කඩුලු 02ක් බිඳ දැමීමට සමත්වූහ.
කෙසේ නමුත් හයිද්‍රාබාද් ඉනිම අවසන් වනවාත් සමග තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර, ඒ හේතුවෙන් තරගය නැවත ආරම්භ කිරීමට බොහෝ වෙලාවක් ප්‍රමාද විය. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කොල්කටා කණ්ඩායමට පන්දුවාර 06කදී ලකුණු 48ක ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය ඔවුන් කඩුලු 03ක් දැවී පන්දුවාර 5.2කදී සපුරාලීමට සමත් වූ අතර, එහිදී නායකත්ව ඉනිමක් ගොඩනගමින් විශිෂ්ට පිතිහරඹයක නියුතු ගෞතම් ගාම්භීර් නොදැවී ලකුණු 32ක් රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයාට හිමි සම්මානය කොල්කටා කණ්ඩායමේ නේතන් කොල්ටර් විසින් දිනාගනු ලැබීය.
මෙම පරාජයත් සමග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය. කෙසේ නමුත් කොල්කටා කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තවත් එක් තරගයක් ජයගත යුතුව ඇත. පසුගිය අඟහරුවාදා (16දා) පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී පූනේ සුපර්ජයන්ට් හමුවේ පරාජයට වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග කොල්කටා කණ්ඩායමට තරග වැදීමට සිදුවන අතර, එම තරගය හෙට (19දා) බැංග්ලෝර්හිදී පැවැත්වේ. එහි ජයග්‍රහකයා අවසන් තරගයට සුදුසුකම් ලබයි.
හයිද්‍රාබාද් 128/7 (පන්දුවාර 20)
ඩෙවිඩ් වෝනර් 37 (35, 4X2, 6X2 ), කේන් විලියම්සන් 24 (26, 4X2, 6X1 ), විජේ ශංකර් 22 (17, 4X2, 6X1 ), නේතන් කෝල්ටර්-නයිල් 3/20 (4), උමේෂ් යාදව් 2/21 (4)
කොල්කටා 48/3 (පන්දුවාර 5.2)
ගෞතම් ගාම්භීර් 32 (19, 4X2, 6X2 ), ක්‍රිස් ලින් 6 (2, 6X1), බුවනේෂ්වර් කුමාර් 1/11 (1), ක්‍රිස් ජොඩන් 1/9 (1)
ෂෙහානි දිල්රුක්ෂිකා