(UPDATE) 17.30 PM
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමින් හම්බන්තොටදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් විශිෂ්ඨ ජයක් ලැබිමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06දා) සමත්වූයේය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 310ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 311ක ඉලක්කයක් ලබාදුන්නේය. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් හැමිල්ටන් මැසකඩ්සා ශතකයක් රැස්කිරීමට සමත්විය.
පළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක සමත්වූයේ පළමු කඩුල්ලට ලකුණු 229ක සාර්ථක සබඳතාවක් පවත්වමිනි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගයක් ද්විත්ව ශතක සබඳතාවක් පැවැත්වූ 10 වැනි අවස්ථාව මෙය විය.
එසේම ඔවුන් දෙදෙනාම මෙහිදි මංගල ශතක වාර්තා කිරිමටත් සමත්වූහ. ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් පසුව කුසල් මෙන්ඩිස් හා උපුල් තරංග නොබඳුණු ලකුණු 75ක සබඳතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
16.20 PM දික්වැල්ල හා ගුණතිලක මංගල ශතක වාර්තා කරති
සිය එක්දන දිවියේ මංගල ශතක රැස්කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක අද (06දා) සමත්වූහ. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය. එසේම ඔවුහු පළමු කඩුල්ල සඳහා පන්දුවාර 36කදී නොබිදුණු ලකුණු 222ක සබඳතාවක් පවත්වමින් සිටිති.
14.00 PM ශ්‍රී ලංකාවට ලකුණු 311 ක ඉලක්කයක්
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර හම්බන්තොට පිටියේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 310ක් රැස්කිරිමට සමත්විය. ආරම්භක පිතිකරු හැමිල්ටන් මැසකඩ්සා ලකුණු 111ක් රැස්කිරිමට සමත්විය.ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් වනිඳු හසරංග හා අසේල ගුණරත්න කඩුලු දෙක බැගින් දවාගත්හ. ලසිත් මාලිංගගේ පන්දුවාර 9ට ලකුණු 71ක් උදුරා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත්වූහ.
11.45 AM මැසකඩ්සා ශතකයක් රැස්කරයි
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී සිය එක්දින දිවියේ පස්වැනි ශතකය රැස්කිරීමට ආරම්භක පිතිකරු හැමිල්ටන් මැසකඩ්සා සමත්වූයේය.
පන්දු 83කින් වාර්තා වූ ඔහුගේ ශතකයට එක් හයේ පහරක් හා හතරේ පහර 14ක් ඇතුළත් විය. ඒ අනුව සිම්බාබ්වේ පිතිකරුවෙකු රැස්කළ තෙවැනිම වේගත්ම ශතකය ලෙසින් මෙය ඉතිහාසයට එක්වෙයි.
ශ්‍රී ලංකාවට එරෙහිව මැසකඩ්සා රැස්කළ පළමු ශතකය මෙය වෙයි. එසේම තරගයේදි සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටින සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 27කදී කඩුලු දෙකකට ලකුණු 166ක් රැස්කරගෙන සිටියි.
9.30 AM කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර 2 ක හමාරකට පමණ පසුවයි.