ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නව නායකයෙකු පත්කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු පත්කිරීම සහ වර්තමාන ක්‍රිකට් පරිපාලනය ගැන ඛනිජ තෙල් අමාත්‍ය, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමග කෙටි පිළිසඳරක යෙදෙන්න අපට හැකිවිය.
Q එක්දින කණ්ඩායමේ නව නායකයා හැටියට තිසර පෙරේරා පත්කරලා තියෙනවා. මේ ගැන ඔබගේ අදහස කුමක්ද?
මේවා ගැන කතා කරන්නේ කවුද කියලා අපි නම් දන්නේ නැහැ. මේ වගේ වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති ක්‍රිකට් ගැන දැනුමක් නැති අය කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ටීම් තෝරන්නේ, ක්‍රිකට් වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති අය. ඒ නිසා තමයි අපේ ක්‍රිකට් විනාශ වෙන්නේ. අද එන්න එන්නම මෙරට ක්‍රිකට් නරක තත්ත්වයකට වැටිලා තියෙන්නේ.
මේ වැඩ නිසා බැනුම් අහන්නේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි. විශේෂයෙන්ම ජනධිපතිතුමාට බනිනවා මේවා වෙනසක් කරන්නෙ නැහැ කියලා. ඇත්ත තත්ත්වේ බැලුවාම අපි පසුගිය කාලේ කිවුවා හොඳ තේරීම් කමිටුවක් ඉන්නේ නැහැ පාලක මණ්ඩලය එක්ක වැඩ කරන්න. මොකද වර්තමාන පරිපාලනය ගැන කිසිම කෙනෙකුගේ විශ්වාසයක් නැහැ. ඒ අයට ඕන කණ්ඩායම් දානවා, ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න නිලධාරීන්ගේ සහ කමිටුවල ඉන්න අයගේ ක්‍රීඩා සමාජවලට අවස්ථාව වැඩියෙන් දෙනවා. මේවගේ දේවල් එක්ක හොඳ පුද්ගලයන් පාලක මණ්ඩලය එක්ක වැඩ කරන්න එන්නේ නැහැ.
කරන්න කිසිම දෙයක් නැති දුර්වල පුද්ගලයෝ කිහිපදෙනෙක් මේ වැඩවලට සම්බන්ධ වේවී. එක්දින කණ්ඩායමේ නායකත්වය ගැන සහ පන්දුවාර විස්සයි20 කණ්ඩායමේ නායකත්වය ගැන කතා කරන්නේ අඩුම ගානේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකටවත් බැහැලා නැති අය. මේක හරිම අවාසනාවක්. මෙහෙම ගියොත් ක්‍රිකට් තවත් විනාශ වෙන එක තමයි වෙන්නේ.
මම කාගෙවත් නම් කියන්න කැමති නැහැ නායකත්වයට කවුද හොඳ කියලා. ගහේ ලොකු ප්‍රශ්නයක් තියාගෙන අතු කපලා හරියන්නේ නැහැ. මේක එතරම් දුරට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේක හදන්න නම් පරිපාලනය හදලා ඉන්න ඕන. තව ටිකක් කල් යනකොට මම හිතනවා මේ රටේ මිනිස්සු ක්‍රිකට් පරිපාලනයට ගල් ගහන තත්ත්වයට එන්න පුළුවන්. එච්චරට නරක තත්ත්වයකට ගිහින් තියෙන්නේ අද ක්‍රිකට් පරිපාලනය. ක්‍රිකට්වලට ආදරය කරන හුඟ දෙනෙක් දැන් ක්‍රිකට් නරඹන්නේ නැහැ. හැබැයි ඕකත් කොයිම මොහොතක හෝ පුපුරලා යනවා. මම දන්නවා රටේ වෙච්ච ප්‍රශ්නවලට වඩා ලොකු ප්‍රශ්නයක් ඉදිරියේදී ක්‍රිකට්වලට වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඇමතිතුමා මීට වඩා දැඩි තීරණ ගන්න ඕන කියලා. බයක් නැතුව තීරණ ගන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න ඕනේ.
මොන දේ වුණත් මම හොර පෙට්ට්‍රල් ඇතුළට ගන්න දුන්නේ නැහැ. ඒකට මොන බලපෑම් අවාත් මම දුන්නේ නැහැ. ඒක තමයි මම දකින්නේ නායකයෙකුගේ තීරණ ගැනීමේ හැකියාව. අපේ රටේ ක්‍රීඩා නායකයා තමයි ක්‍රීඩා ඇමතිතුමා. තමන්ගේ මිත්‍රයෝ කියලා බෑ. හරි පුද්ගලයන් දාගන්න ඕන. අද ඉන්න තේරීම් කමිටුව ගැන මම නම් සෑහීමකට පත් වෙන්නේ නැහැ. හැබැයි මේ ක්‍රමය වෙනස් වුණාම, ජාතික කණ්ඩායම නියෝජනය කරපු, රටට වැඩ කරන්න කැමති පිරිසක් එකතු වෙනවා කියලා මම දන්නවා. අද මම දකින්නේ කාඩ් කූට්ටමක කාඩ් ගහනවා වගේ වැඩක් තමයි තේරීම් කමිටුවයි, පාලක මණ්ඩලයයි කරන්නේ. අද කොහොමත් ක්‍රීඩාව සූදුවකට ගිහිල්ලනේ. කාඩ් පැක්, අශ්ව රේස් එක්ක තමයි මේවා කරන්නේ. අර අශ්වයන්ට ඔට්ටු අල්ලනවා වගේ එක තරගාවලියක් හොඳට කරන කෙනා ඊළඟ තරගාවලියේ දී නායකයා කරනවා. ඊළඟ තරගාවලියේදී එයා අසාර්ථක වුණාම අයින් කරනවා. හොඳම උදාහරණය තමයි මෙන්ඩිස්. ඒ ළමයා දක්ෂ ළමයෙක්. අපි දන්නවා පහුගිය දවස්වල එයාව නායකත්වයට ගේන්නත් ක්‍රිකට් පාලක මණ්ඩලය කතා වුණා. හැබැයි ඉන්දීය තරගාවලියේදී ඒ ළමයා කණ්ඩායමේවත් නැහැ.
Q ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙකු බඳවා ගන්නට සුදානමින් තමයි ඉන්නේ. බොහෝ දුරට ලබන සතිය වනවිට ඒ කවුරුන්ද යන්න අපට නිශ්චිතවම දැනගන්න ලැබේවි. පුහුණුකරු වෙනස් කිරීමෙන් පමණක් අපේ රටේ ක්‍රිකට් ගොඩගන්න පුළුවන් කියා ඔබ සිතනවද?
මම හිතන්නේ නැහැ පුහුණුකරු මාරු කළා කියලා ක්‍රිකට් ගොඩගන්න පුළුවන් වෙයි කියලා. පාලක මණ්ඩලයේ ඇඟිලි ගැහීම් නැතුව පුහුණුකරුට ඔහුගේ රාජකාරිය කරගෙන යන්න දෙනවා නම් ක්‍රිකට් ගොඩගන්න පුළුවන්. පුහුණුකරුවන් ඕන තරම් අපේ රටේ ඉන්නවා. ලෝකෙත් ඉන්නවා. නමුත් අද පුහුණුකරුවන් වෙලා ඉන්නේ පරිපාලනයේ ඉන්න සූදුකරුවන්. මේ අයත් එක්ක අපේ ක්‍රිකට් කවදාවත් ගොඩගන්න බැහැ. අපේ ක්‍රිකට් අන්තිමට බිම ඇනිලා තියෙන්නේ. තවත් කොහේට යයිද කියලා මම දන්නේ නැහැ. ඒකයි මට තියෙන බය.
Q ඔබ චෝදනා කරන්නේ පරිපාලනයේ දුර්වලතා නිසා ක්‍රිකට් කඩා වැටුණා කියලද?
මෙහෙමනේ. ඇත්ත කතා කළොත් අද ක්‍රිකට් පරිපාලනය කරන්නේ ජාත්‍යන්තරයේ ක්‍රිකට් පිටියකට අඩියක්වත් තියලා නැති කණ්ඩායමක්නේ. ඒයාලට ජාතික කණ්ඩායමක හෝ ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳ හෝ ඇත්දැකීම් නැහැ. ටයි එකක් දාගෙන, කෝට් එකක් දාගෙන, වායු සමනය කළ කාමරයක ඉඳගෙන ක්‍රිකට් ගොඩගන්න බැහැ. සාමාන්‍යයෙන් ක්‍රිකට් ගැහුවා කියලා ක්‍රිකට් ගැන දැනුමක් තියෙන අය ඔතන නැහැ. නමුත් මම දකින දෙයක් තමයි මේ පරිපාලනය, 1982 ඉඳලා තිබ්බ පරිපාලන අතරින් දූෂිතම, ඒ වගේම කිසිම දැක්මක් නැතුව දුවන පරිපාලනය. මම කියන්නේ ඇස් වහගෙන දුවනවා වගේ තමයි මේ ගොල්ලෝ දුවන්නේ. අහුවෙන අහුවෙනා කෙනා අරගෙන කරගෙන යනවා. ඉතින් අපිට සැලසුමක් දෙනවා කියුවා. ඒ සැලසුම තාම නැහැ. ක්‍රීඩා ඇමතිතුමත් වැඩ කරන්නේ ක්‍රිකට් පරිපාලනයට ඕන විදිහට. හරිම කනගාටුදායක දෙයක්. මම මහින්දානන්ද හිටපු ඇමතිතුමත් සමග එකඟ නොවුණත් මොනවා වුණත් හිටපු ක්‍රීඩා ඇමතිතුමටා ක්‍රීඩාව සම්බන්ධයෙන් යම් දැක්මක් තිබුණා.