ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයේ නියුතු විය යුතු අනුමත සේවක සංඛ්‍යාව 207ක් වූවද, නිත්‍ය සේවක සංඛ්‍යාව 173ක් වීමෙන් එහි පරිපාලන කටයුතුවලට බාධා ඇතිවී ඇතැයි 'අද'ට වාර්තා වේ. ඒ අනුව මේ වනවිටත් අමාත්‍යාංශයේ සේවක පුරප්පාඩු 36ක් ඇතත් බලධාරීන් එම පුරප්පාඩු පිරවීමට මෙතෙක් පියවර ගෙන නොමැත.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවක පුරප්පාඩු 11ක්, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ පුරප්පාඩු 22ක් හා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ පුරප්පාඩු 03ක් පවතින බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ වාර්ෂික කාර්ය සාධක වාර්තාව පවසයි.
කෙසේ වෙතත් මෙම පුරප්පාඩු මෙතෙක් පිරවීමට නොහැකි වී ඇතැයි පවසන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ඉදිරියේදී කඩිනමින් ඊට අවශ්‍ය පියවර ගන්නා බව 'අද' ට පවසා සිටියේය.
2015 වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට නිකුත් කර ඇති අදාළ කාර්ය සාධන වාර්තාව මගින් පෙන්නුම් කරනුයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමත සේවක සංඛ්‍යාව 100ක් වුවද, එහි සේවයේ නියුතු වන්නෙ සේවකයන් 91ක් පමණක් බවයි. එමෙන්ම ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සේවයේ නියුතු අනුමත සේවක සංඛ්‍යාව 78ක් වුවද, එහි සේවයේ නියුතු වන්නෙ සේවකයන් 56ක් පමණි.
මීට අමතරව ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අනුමත සේවක සංඛ්‍යාව 29ක් වුවද, එහි සත්‍ය සේවක සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 26 දෙනකු පමණි. මේ අනුව බලන කල පෙනීයන්නේ මෙරට ක්‍රීඩාවේ ප්රගමනය වෙනුවෙන් මෙතෙක් මෙම පුරප්පාඩු පිරවීමට ක්‍රීඩා බලධාරීන් කල්මරමින් සිටින බවයි.
කෙසේ වෙතත් අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාව පෙන්වාදෙන්නේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථිර තනතුරු 95ක් හා තාවකාලික පදනම මත තනතුරු 05ක් ඇතත්, වත්මනෙහි එහි සේවයේ නියුතු වන්නෙ ස්ථිර තනතුරු නිලධාරීන් 84 දෙනෙක්, තාවකාලික තනතුරු නිලධාරීන් 05ක් හා භාෂා පරිවර්තක තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් නිලධාරීන් දෙදෙනකු පමණක් බවත්ය.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය සතුව වන පුරප්පාඩු 09ට අමතරව පරිපාලන නිලධාරී සහ භාෂා පරිවර්තක තනතුරු 02ක්ද ඇතුළත් වන බව අනාවරණය වේ. එමෙන්ම පසුගිය වර්ෂයට (2015) අදාළව ඒකාබද්ධ සේවයේ සහ දීප ව්‍යාප්ත සේවාවන්හි පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් වාර්ෂික, අර්ධ වාර්ෂික වාර්තා මගින් සහ පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස ලිපි මගින් නොයෙක් අවස්ථාවල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයිද එම වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ වනවිට අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සංවර්ධන) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී, සංවර්ධන නිලධාරී පුරප්පාඩු මෙන්ම ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ භෞත චිකිත්සක, රසායනාගාර කාර්මික විද්‍යාඥ යන දෙපාර්තමේන්තුගත තොරතුරු සඳහා නිලධාරීන් බඳවාගෙන ඇතැයි පැවසුනද, යම් යම් තොරතුරු සඳහා තවමත් පුරප්පාඩු පවතින බව වාර්තා වේ.
කෙසේ වෙතත් 2016 වසර තුළ පමණක් ක්‍රීඩා අමාත්‍යාංශයේ තනතුරු සඳහා නව පත්වීම් 23ක් (කාන්තා 08, පිරිමි 15) ප්රදානය කර ඇති අතර, සේවයෙන් ඉවත්වීම් හා ස්ථාන මාරුවීම් 16ක් (පිරිමි 10 කාන්තා 06) සිදුව ඇති බව අනාවරණය වේ.
මේ අනුව බලන කල මේ වනවිටත් 2015 දෙසැම්බර් මස 31 වැනිදාට පැවැති අදාළ පුරප්පාඩු යම් යම් අවස්ථාවල පිරවීමට උත්සාහ කර ඇති අතර, එහෙත් යළිත් එම පුරප්පාඩු මතුවීම විමසුමට ලක්විය යුතු කරුණකි. මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතු අතර, එම පුරප්පාඩු 36 කඩිනමින් විසඳා ක්‍රීඩාවේ උන්නතියට කටයුතු කරාවි යැයි අපි බලාපොරොත්තු වන්නෙමු.
වැඩිකල් යන්න කලින් මේ පුරප්පාඩු සියල්ල පුරවනවා
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර
''තවම අපිට එම පුරප්පාඩු පුරවන්න බැරිවෙලා තියෙනවා. ඒකට හේතුව බඳවාගැනීමේ පටිපාටිවල ගැටලු කිහිපයක් තිබෙනවා. දැන් අපිට වෛද්‍යවරු 08 දෙනෙක් ගන්න ඕනෑ. එතකොට ඔවුන්ව සේවයට බඳවාගන්න ගියාම නිකන් ගන්නත් බැහැ. අපි තීරණය කළා එළියෙන් (පරිබාහිරව) ගමු කියලා, දැන් සාමාන්‍යයෙන් වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි ගන්නේ. එහෙත් ඔවුන් කැමති නැහැ මේකේ අතිකාල දීමනා නැති නිසා. ඒකනිසා ඒවගේ තනතුරුවල ප්‍රශ්නයක් තිබෙනවා.
අනික් කරුණ තමයි භෞත චිකිත්සාවරුන්ගෙත් ගැටලුවක් තිබෙනවා. අපි පසුගිය වරත් 03දෙනෙක් බඳවා ගන්න උත්සහ කළා. නමුත් ආවේ එක්කෙනයි. ඔවුන් කවුරුවත් ඒ තියෙන වැටුප් ප්‍රමාණවලට සේවය කරන්න එකඟ නැහැ.
ඒවගේම ක්‍රීඩා විද්‍යායතනයේ කථිකාචාර්යවරු 10 දෙනෙක් අපිට අවශ්‍යයි. ඒකට අපි වෙනම ආපසු වැටුප් ප්‍රමාණයක් හදලා අනුමත කරගෙන තිබෙනවා. ඉදිරියේදී ඒකට අවශ්‍ය පුරප්පාඩු පුරවන්නත් පුළුවන් වේවි. නමුත් ගැටලුව තියෙන්නෙ මේකට අවශ්‍ය නිලධාරීන් ඒ සඳහා ඉදිරිපත් වෙන්නෙ නැහැ.
මෙම පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය අවසරයන් අපි අරගෙන තිබෙනවා. එතකොට අතිකාල හා බටා වැනි දීමනා ලබාදෙනවා නම් අපිට වෛද්‍යවරු ඕනෑම අවස්ථාවක බඳවාගන්න පුළුවන්. එසේම කථිකාචාර්යවරුන්ගේ වැටුප් පිළිබදවත් ගැටලුවක් තිබුණා. ඒකත් අපි දැන් විසඳන්න කටයුතු කර තිබෙනවා. අපිට ඉතා ඉක්මනින් මෙම පුරප්පාඩු පුරවන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා.''