ක්‍රීඩා අමාත්‍යාංශය බැඩ්මින්ටන් සංගමය වෙත යොමුකළ නෛතික ලියවිල්ලක් හේතුවෙන් හෙට (24දා) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය කල්දැමීමට සිදුව ඇතැයි 'අද' ට වාර්තා වේ.
ඒ අනුව නිලවරණය නිසිපරිදි හෙට දිනයේ පවත්වනවාද එසේත් නොමැති නම් කල්දමනවාද යන්න අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණේ ඊයේ (22දා) සවස 6.30 ට බැඩ්මින්ටන් සංගමය පත්කළ නිලවරණ කමිටුවේ අවසන් සාකච්ඡාවේදීය.
මෙවර බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා ලබාගැනීමේ සිට එය අවසන් කරන දිනය දක්වාම ගැටලු කිහිපයක් පැනනැගී තිබුණ අතර, සමහර නාමයෝජනා ප්‍රමාදවී ලබාදීමෙන් ප්‍රතිවාදී අපේක්ෂකයන් අතරද ප්රශ්නකාරී වාතාවරණයක් උද්ගත විය. එහෙත් අවසන් නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීම පසුගියදා (15දා) සිදුකළ අතර, එහිදී නාමයෝජනා ලබාදුන් සියලු දෙනාටම තරග කිරීමට අවස්ථාව ලබාදීමට ඒකමතිකව තීරණය විය.
කෙසේ වෙතත් නාමයෝජනා විමසීම පිළිබඳව කැඳවූ රැස්වීම පසුව විශේෂ මහා සභා රැස්වීමක් (AGM) බවට පත්වීමෙන් පාසල් සංගමයට ලබාදී තිබූ ඡන්ද 06 අවලංගු කර ඔවුන්ට උපසභාපති ධුරයක් හා තවත් තනතුරක් (කාරක සභික) ලබාදීමට පියවරගෙන තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය කළ ඉල්ලීමක් අනුවයි.
මෙවර නිලවරණය පැවැත්වීමට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයෙන් එය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව කරුණු ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර, විශේෂ මහා සභා රැස්වීමේදී එම ගැසට් පත්‍රයේ අඩංගු ඉහත කී පාසල් සංගමයේ ඡන්ද 06 අහිමි කිරීම පමණක් අවසානයේදී සම්මත වූ බව පිරිසක් චෝදනා කරති.
එමෙන්ම නිලවරණයක් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු නීතිරීතිවලින් බැහැරව බැඩ්මින්ටන් සංගමය කටයුතු කිරීම නිසා ක්‍රීඩා අමාත්‍යාංශය මෙලෙස සිය පළමු ලිඛිත නියෝගය ලබාදෙමින් පවසා තිබුණේ, නිලවරණය පවත්වන්නේ නම් ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුවම පැවැත්විය යුතුය යන බලපෑම සිදුකරමිනි. ක්‍රීඩා අමාත්‍යාංශය යොමුකළ ලිඛිත ලියවිල්ලේ විගණන වාර්තා ලබාදීම සම්බන්ධව දැඩිව ප්‍රශ්න කර තිබූ අතර, මේ වනවිටත් බැඩ්මින්ටන් සංගමය විගණකාධිපති අනුමත කළ විගණන වාර්තා සිය සාමාජික සංගම්වලට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදී නැතැයි හෙළිවේ.
මේ පිළිබඳව කරුණු විමසීමට අප බැඩ්මින්ටන් සංගමයේ ලේකම් අමල් ඩයස් මහතා සම්බන්ධ කරගත් අතර, එහිදී ඔහු පවසා සිටියේ, නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව නිලවරණ කමිටුව ලබාදෙනු ඇති බවයි.
''නිලවරණය කල්දමනවාද නැද්ද යන්න අවසන් තීන්දුව අප අද (ඊයේ) සවස 6.30 ට පැවැත්වෙන රැස්වීමේදී තීරණය කරනවා. එම රැස්වීම පැවැත්වෙන්නේ අපි පත්කළ නිලවරණ කමිටුවක් (Election Committee) සමගයි. අපිට අමාත්‍යාංශයෙන් ලිපියක් නිකුත් කර තිබෙනවා ක්‍රීඩා පනතේ සඳහන් කරුණුවලට අනුව විගණකාධිපති (Auditor General) විගණනය කළ අවසන් වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශයට හා සාමාජික සංගම්වලට ලබාදිය යුතුයි කියලා. එය දින 14 ක් ඇතුළත ලබාදිය යුතුයි.
අපි මෙතෙක් කල් සිදුකළේ (2010 සිටම) වාර්ෂිකව මහා සභා රැස්වීමේදී අනුමත කරන විගණන ආයතනයක් මගින් විගණන වාර්තා ලබාදීමයි. ඒ විදිහටම අපි මෙවරත් විගණනය සිදුකලා. එහෙම කරලා දින 30 කට කලින් දන්වලා සාමාජික සංගම්වලට යොමුකළා. එහෙත් ඡන්දයට අපිට කමිටුවක් පත්කරන්න කියලා උපදෙස් ලැබුණු නිසා එම උපදෙස් අනුව පත්කළ කමිටුව තමයි තීරණයක් ගත යුත්තේ නිලවරණය 24 දා පවත්වනවාද නැද්ද කියලා.'' යැයි ඒ සම්බන්ධයෙන් බැඩ්මින්ටන් ලේකම්වරයා වැඩිදුරටත් කරුණු දක්වා සිටියේය.
බැඩ්මින්ටන් නිලවරණයේ සභාපති ධුරය සඳහා මේ වනවිට නාමයෝජනා 06 ක් ඉදිරිපත්ව ඇති අතර, එහි ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙස රොෂාන් ගුණවර්ධන හා නිශාන්ත ජයසිංහ යන පාර්ශ්ව කටයුතු කරති. එමෙන්ම උපසභාපති තනතුරු 07 ක් සඳහා නාමයෝජනා 20 ක්ද, ලේකම් තනතුර සඳහා නාමයෝජනා 05 ක්ද, උපලේකම් තනතුර සඳහා නාමයෝජනා 06 ක්ද, භාණ්ඩාගාරික තනතුර සඳහා නාමයෝජනා 04 ක්ද, උපභාණ්ඩාගාරික තනතුර සඳහා නාමයෝජනා 03 ක්ද ඉදිරිපත්ව ඇත.