ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙන යාමට සමත් වූ ක්‍රීඩකයන් අතළොස්සක් අතරින් මෑත ඉතිහාසයේ ඉහළින්ම කියැවෙන්නේ ඔහුගේ නාමයයි. වේගය හා කැටිවුණ උපායශීලී ක්‍රීඩා රටාවත්, ඒ හා සබැඳුණු කඩවසම් රූපයත්, ක්‍රීඩා පිටියේදී ඔහුගේ පෞරුෂත්වය විදහා දැක්වීමට අදටත් සමත් වීම විශේෂත්වයකි.
ෆාසිල් මරීජා නාමය ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර රග්බි ක්ෂේත්රයට පැමිණ මේ වනවිට වසර 14ක් ගතවී ඇතත්, මේ වනතෙක් ඔහුගේ ක්‍රීඩා රටාව හා කණ්ඩායමේ ඔහුගේ ස්ථානය අබිබවීමට ක්‍රීඩකයෙක් බිහිවී නොමැත. මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ, ජාතික රග්බි කණ්ඩායමේ සිටින දක්ෂතම රග්බි ක්‍රීඩකයෙකු ලෙස ෆාසිල් හැඳින්වූවාට කිසිඳු වරදක් නොමැත.
කෙසේ නමුත් මෙවර ආසියානු ශූරතා තරගාවලියෙන් අනතුරුව පහළොස් සාමාජික අන්තර්ජාතික රග්බි තරගවලින් සමුගැනීමට ෆාසිල් තීරණය කළ අතර, සමුගැන්මෙන් පසු ෆාසිල් 'අද' පුවත්පත හා සම්බන්ධ වූයේ මෙලෙසිනි.
Q සමුදුන් තරගාවලියේදීත් ශ්‍රී ලංකාවේ දස්කම් ඉස්මතු වූයේ නැහැ නේද?
ඒ ගැන පොඩි කලකිරීමක් තියෙනවා. නමුත් අවසන් තරගය වෙනකන් අපි හොඳට සෙල්ලම් කළා. අවසන් තරගයේදීත් අන්තිම විනාඩි 10, 15 දී තමයි අපිට ප්‍රශ්නයක් වුණේ. එතකන් අපි තරගය දිනල හිටියේ. අවසන් තරගයට ධනුෂ්ක (ධනුෂ්ක රංජන්) හා රිචඩුයි (රිචඩ් ධර්මපාල) නැති එක ලොකු පාඩුවක් වුණා. මොකද අපිට ලයින් එක බ්රේක් කරගන්න (ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩකයන් අතරින් ඉදිරියට යාමට) බැරුව හිටියේ. අපිට පසුපෙළින් හොඳ අවසන් කිරීමකට යන්න හිටියේ ඒ දෙන්නයි.
Q මේ දක්වා දක්වපු දක්ෂතා ගැන සතුටු වෙනවද, අමතක නොවෙන තරගයක් තියෙනවද?
ඔව්, සෑහෙන මහන්සි වුණා. ඒකෙ ප්‍රතිඵල තමයි අවුරුදු 14ක් සෙල්ලම් කරන්න ලැබුණ එක. ඒක හොඳ දෙයක්. මම හිතන්නෙ මම පළවෙනියටම ක්‍රීඩා කරපු අන්තර්ජාතික තරගය තමයි අමතක නොවෙන්නෙ. හොංකොං කණ්ඩායමට එරෙහිව, ඒ තරගය තිබුණේ නිත්තවෙල. ඒ වගේම මම හොඳටම රග්බි සෙල්ලම් කළේ, 2007 ඉඳන් 2010 වෙනකන් කාලයේ. නමුත් ඊට පස්සෙ මගේ කකුලෙ ආබාධයක් ඇවිත් ශල්‍යකර්මයක් කරන්න වුණා. ඒකෙන් සාමාන්‍ය තත්ත්වයට එන්න අවුරුදු දෙකක් විතර ගියා.
Q අද වනවිට ඔබ සුපුරුදු දක්ෂතා අතර නැතිද?
එහෙම හිතන්නෙත් නෑ. නමුත් වේගය පොඩ්ඩක් අඩුවෙලා කියල හිතෙනවා. දැනට ප්‍රශ්නයක් නෑ. නමුත් වයස යන්න යන්න දක්ෂතාත් ටික ටික අඩුවෙනවා.
Q ඔබ පසුපෙළ ක්‍රීඩකයෙක් හැටියට, ඔබ දකින හොඳම පසුපෙළ කණ්ඩායම කවුද?
මම දකින විදිහට රොෂාන් වීරරත්න (ස්ක්රම්හාෆ්), ගයාන් වීරරත්න (සෙන්ටර්), ප්‍රදීප් ලියනගේ (සෙන්ටර්), සමීර සිල්වා (වින්ගර්), සංජීව ජයසිංහ (වින්ගර්) හා සාලිය කුමාර (ෆුල් බැක්) තමයි මට ලැබුණු හොඳම කණ්ඩායම
Q ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ මොකද කරන්න හිතන් ඉන්නෙ?
රග්බි ඇකඩමියක් කරන්න හිතන් ඉන්නවා. නමුත් ඒ ගැන තව මාසයකින් විතර තමයි අවසන් තීරණයක් ගන්නෙ. කොහොමත් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඒක පටන් ගන්න හිතන් ඉන්නවා.
Q වසර 14ක් ආපස්සට හැරිල බැලුවොත්, එදා සිට අද රග්බිවල වෙනස ඔබ දකින්නේ කෙසේද?
මම දන්න විදිහට ඒ කාලය තුළ ක්‍රීඩකයො සෑහෙන දියුණුවක් ලැබුවා. ඒ වගේම දැන් අය ලොකු ආසාවකින් රග්බි ක්‍රීඩා කරනවා. නමුත් මේ අවුරුදු 14ටම අපි හොංකොං, දකුණු කොරියාව හා ජපානය වගේ රටවල් පරාජය කරන්න ලැබුණෙම නෑ. ඒකට හේතුව අපිට අන්තර් සමාජ තරග ඉවර වෙලා ක්‍රීඩා කරන්න තියෙන්නෙ එක තරගාවලියක් (පසළොස් සාමාජික) විතරයි.
නමුත් එක් තරගාවලියක් විතරක් සෙල්ලම් කරලා ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ. තරගාවලියකට යන්නෙත් සති දෙකක තුනක පුහුණුවීමකින් පමණයි. තරගාවලියකට පස්සේ අන්තර්සමාජ තරග පටන් ගන්නකන් මුකුත් කරන්නෙ නෑ.
Q වත්මන් රග්බි පරිපාලකයන්ගෙන් ක්‍රීඩාවට ලැබෙන දායකත්වය ගැන ඔබ මොකද හිතන්නෙ?
මට හිතෙන්නේ ක්‍රීඩකයන් ගත්තොත් ඒගොල්ලෝ උපරිමය ක්‍රීඩා කරනවා. නමුත් මම කියන්නෙ සංගමය පැත්තෙන්, රග්බි වෘත්තීය මට්ටම ගේන්න හදල නෑ. තරගාවලි නෑ, ආසියානු ශූරතාව ගැහුවට පස්සෙ කිසිම තරගාවලියක් නෑ.
සෙවන්ස් (සත් සාමජික රග්බි තරග) ගහන කට්ටිය නම් ශාරීරික යෝග්‍යතාව ඒ ආකාරයටම පවත්වාගෙන යනවා. පහළොස් සාමාජික තරගවලින් පස්සෙ සත් සාමජික තරග, ඊට පස්සෙ අන්තර් සමාජ තරග පටන් ගන්නවා.
වත්මන් රග්බි කාලසටහනේ හැටියට මාස දෙක තුනක් මොනවත් නෑ. නමුත් සංගමය බලාපොරොත්තු වෙනවා, ඒ තරගාවලිය දිනන්න මේ තරගාවලිය කියල. අපිට දිනන්න නම් අපි තව වැඩිදියුණු වෙන්න ඕන.
අපි සත් සාමාජික තරගවලින් දියුණු වුණේ අවුරුදු තුන හතරක් සත් සාමාජික තරග දිගටම ක්‍රීඩා කරලා. ඉස්සර අපිට කාල්ටන් වගේ සත් සාමාජික තරගත් තිබ්බා. දැනුත් ශ්‍රී ලංකා සෙවන්ස් හා වෙළෙඳ සේවා රග්බි තරග තියෙන නිසා ක්‍රීඩකයන්ට දක්ෂතා පවත්වාගෙන යන්න අවස්ථාව ලැබිලා තිබෙනවා.
Q රග්බි අතීතය හා වර්තමානය සංසන්දනය කළාම, රග්බි ක්‍රීඩකයන්ට හොඳ ඉල්ලුමක් ජාත්‍යන්තරයේ තියෙනවද?
මම දන්න විදිහට ගොඩක් ක්‍රීඩකයො ලංකාවෙ විතරයි ක්‍රීඩා කරන්නෙ. එතනින් එහාට සෙල්ලම් කරල නෑ. අපේ ක්‍රීඩා සමාජයෙන් මමයි. රොෂානුයි (රොෂාන් වීරරත්න) මාස තුනක් විතර නවසීලන්තයේ ක්‍රීඩා සාමාජයක ක්‍රීඩා කළා. මම දකින විදිහට අපේ ක්‍රීඩකයො ඒ වගේ තැනකට ගියොත්, සෑහෙන වැඩිදියුණු වෙයි.
ඒ වගේම හොඳට සෙල්ලම් කළොත් ආසියානු කලාපයේ පවා නමක් දිනාගන්න පුළුවන් වෙයි. නමුත් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජවලින් ඇරෙන්න, සම්මේලනයෙන් නම් මේ දක්වා ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගන්න ක්‍රීඩකයන්ව යවල තියෙනවා කියල මම හිතන්නෙ නෑ. ඒ වගේ තැනකට ගියාට පස්සෙ තමයි තේරෙන්නෙ ලංකාවෙ අපේ ක්‍රීඩකයන්ගෙ තත්ත්වය හා ඒ ක්‍රීඩකයන් අතර තියෙන පරතරය.
Q මෙරට රග්බි ක්‍රීඩකයන්ට වෙළෙඳ වටිනාකමක් තියෙනවද?
ක්‍රිකට් ක්‍රීඩකයන් තරම් ලොකු වෙළෙඳ වටිනාකමක් නම් නෑ. ඒත් අනෙක් ක්‍රීඩාවලට සාපේක්ෂව වැඩි වටිනාකමක් තියෙනවා. පොඩි පොඩි වෙළෙඳ දැන්වීම්වලටත් ඇතැම් ක්‍රීඩකයන්ට කථා කරනවා. දැන් මුතුතන්ත්රි (සුදර්ශන) රෙඩ්බුල්වල වෙළෙඳ සන්නාම තානාපති කෙනෙක් විදිහට වැඩ කරනවා. මටත් කථා කරල තියෙනවා වෙළෙඳ දැන්වීම්වලට. ඒත් මට නම් ඒවට සහභාගි වෙන්න බැරිවුණා.
Q මෙවර පාසල් රග්බි ලීග් තරගාවලියෙන් එළියට එන ක්‍රීඩකයො රටේ අනාගතයට හොඳ ආයෝජනයක් වෙයිද?
ඔව්, ඒ ක්‍රීඩකයො ලංකාවෙ රග්බිවලට හොඳ ආයෝජනයක් වෙයි. නමුත් ඔතනින් එහාට ශ්‍රී ලංකා රග්බි සංගමය බලන්න ඕන දක්ෂතාව තියෙන අය අරන් දියුණු කරන්න. ඒක වුණේ නැත්තම් කවදාවත් ශ්‍රී ලංකාවෙ රග්බි දියුණු වෙන්නෙ නෑ. රගර් සෙල්ලම් කරන අය අවුරුදු 10ක් විතර සෙල්ලම් කරයි.
ඊට පස්සෙ කවුරුත් ඒ ක්‍රීඩකයොන්ගෙ තැනට නෑ. කවුරුත් වැඩිදියුණු වෙන්නෙත් නෑ. එහෙම වෙන්න බෑනෙ. ක්‍රීඩකයන් යනකොට එයාගෙ තැන ගන්න එන්න, තරගයක් දෙන්න හොඳ ක්‍රීඩකයෙක් හැදෙන්න ඕන. ඒ ගැන සැලසුමක් රග්බි සම්මේලනයට තියෙන්න ඕන. මම නම් එහෙම සැලසුමක් දැනට දැක්කෙ නෑ.
Q ඔබේ සමුගැනීමෙන් පස්සෙ හිස්වන ශ්‍රී ලකා රග්බි කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ස්ථානයට සුදුසුම ක්‍රීඩකයන් විදිහට ඔබ දකින්නෙ කවුද?
මම හිතන්නෙ නිරෝෂන් ප්‍රනාන්දු ( හැව්ලොක්ස් ක්‍රී.ස.), චානක චන්දිමාල් (නාවික හමුදා ක්‍රී.ස.) තමයි මේ ස්ථානයට සුදුසුම ක්‍රීඩකයන් දෙන්නා.
Q අපි ඔබේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත් ළඟදීම පිය පදවියට සූදානම් වෙනවා කියල ආරංචියි?
ඔව්, ළඟදීම ඒකටත් සූදානම් වෙනවා
Q පවුගේ අයගෙන් ක්‍රීඩාවට ලැබෙන සහයෝගය කොහොමද?
තාමත් හොඳ සහයෝගයක් තියෙනවා. ඒ අය කියනවා තව කාලයක් රගර් ගහන්න කියල.
Q පසළොස් සාමාජික තරගවලින් සමුගත්තට, අනෙක් අංශවලින් සමුගන්න අදහසක් නැද්ද?
නෑ. මම එළඹෙන අන්තර් සමාජ තරගාවලියේදී මහනුවර කණ්ඩායම නියෝජනය කරනවා. ඊට පස්සෙ ආසියානු සත් සාමජික තරගාවලිය දක්වා සත් සාමාජික තරගවල නියැළෙන්න බලාපොරොත්තු වෙනවා.
Q ඔබේ ඥාතීන් බොහෝ දෙනෙක් අදටත් රග්බි ක්‍රීඩාව හා සම්බන්ධවී සිටිනවා. නම් වශයෙන් ඒ අය ගැන කථා කළොත්?
මගේ මාමගෙ ඉඳල පරම්පරාවෙ ඔක්කොම පිරිමි අය රගර් ගැහුවා. රොනී ඊබ්‍රහිම්, නිලුෆර් ඊබ්‍රහිම්, රාජා ඊබ්‍රහිම්, අම්ජාඩ් බකස්, අංජු බක්ස්, දේව් ආනන්ද, රෝයි අමිත් වගේ රග්බි ක්ෂේත්රයේ ප්‍රසිද්ධ චරිත මගේ ඥාතීන්.
ඡායාරූප - ශමීර රාජපක්ෂ