දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඉදිරියේදීවත් තරග ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ක්‍රිකට් පරිපාලනයට සුදුසු පුද්ගලයන් පත් කළ යුතු බවද ඔහු පවසයි. අද (15දා) අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
“විශේෂයෙන්ම මේ කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නරකම කාලයක්. වැරදි පුද්ගලයෝ ක්‍රිකට් පරිපාලනය කරන විට අපේ රටේ ක්‍රිකට් මේ තත්ත්වයට යනවා කියලා මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා. මේ තරග පරාජයට ක්‍රීඩකයන්ට විතරක්ම දොස් කියන්න බැහැ. අද අපේ ක්‍රීඩකයෝ මානසිකව වැටිලා. අපි ක්‍රීඩකයන්ගේ මනස සෑදිය යුතුයි. ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු හරිද කියලා බලන්නත් ඕන. ක්‍රිකට් සංස්කෘතිය උගන්වන්න ඕන. නමුත් මේ රේස් ඔට්ටුකාරයොත් එක්ක මේ ක්‍රීඩාව කරන්න ගියාම ඒ කිසිවක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.
මට මතකයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා රවි කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස් වෙන්න ඕන කියලා. නමුත් ඊට කලින් අස් කරන්න ඕන එවැනි කතා කියන ඒ අයමයි. අද ක්‍රිකට් පරිපාලනය ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙලා. තරග පරදිනවා. ඒ නිසා ක්‍රීඩා ඇමැතිතුමා ඉස්සෙල්ලාම කරන්න ඕන ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීමයි.
හරි පුද්ගලයන් අතට ක්‍රිකට් පරිපාලනය භාරදීම. නැත්නම් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේදී නරකම තත්ත්වයටම යනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ආවට පස්සේ අමාත්‍යවරුන් දෙදෙනෙක් ඉල්ලා අස් වුණා. ඒ වැරදිකරුවෝ වෙලා නෙමයි.
චෝදනා එල්ල වුණා කියලා. චෝදනා ඔප්පු කරන්නෙත් නැතිව ඉල්ලා අස් වුණා. නමුත් අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව අගාධයටම වැටිලා. ඒක කරුණු සහිතව ඔප්පු වෙනවා. ඒනිසා තවදුරටත් ක්‍රිකට් සභාපතිවරයා එම ධුරයේ තබා ගැනීම වැදගත් වෙන්නෙම නැහැ.
අද කොන්දක් තියෙන පරිපාලනයක් නැහැ. අද කොන්දක් තියෙන තේරීම් කමිටුවක් නැහැ. අද ඒගොල්ලන්ට ඕන ඕන ජනප්‍රිය තීරණ ගන්නවා. රටක ජනප්‍රිය තීරණ අරගෙන බැහැ.
අපේ ආණ්ඩුවත් ජනප්‍රිය තීරණ අරගන්න ගිහිල්ලා නැතිවෙලා තියෙනවා. අපි ගන්න ඕන රටට අවශ්‍ය තීරණ. ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය තීරණ. අපි යහපාලන ආණ්ඩුවක් හදලා තියෙනවා. ආණ්ඩුවේ හිටියට ආණ්ඩුව වැරදි නම් අපි විවේචනය කරනවා.” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.