ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් පිරිසක් ශූරයන්ගේ කුසලාන තරගාවලිය නැරඹීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇතැයි 'අද' ට වාර්තා වේ. මේ වනවිටත් විධායක කමිටු සාමාජිකයන් තිදෙනෙකු ක්‍රිකට් ආයතනයේ මුදලින් මීට සහභාගිවී ඇතැයි ක්‍රිකට් ආයතනයේම සේවකයින් චෝදනා කරන අතර, මෙම මස 10දා තවත් පිරිසක් එංගලන්තය බලා පිටත්ව යන බවද අනාවරණය වේ.
අප මේ පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරිකවරයාගෙන් කරුණු විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ, එම තොරතුරු අසත්‍යයක් බවයි. එමෙන්ම ශූරයන්ගේ කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩි පිරිසක් නිලධාරීන් මෙම සංචාරයට සහභාගි වීමට නියමිත බවද, ඔවුන් කාණ්ඩ 02ක් යටතේ එංගලන්තයට යාමට නියමිත බවද හෙළිවේ.
මෙහිදී ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කමිටු සභාපතිවරයා හා පරිපාලන අංශයේ ප්‍රධානියා මෙවැනි සංචාරයකට යාම පිළිබඳව ක්‍රිකට් සේවකයන්ගේ දැඩි අප්‍රසාදය පළව ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ට එවැනි සංචාරයක් සඳහා සහභාගිවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි. ඒ ඔවුන්ගේ වියදම්ද ක්‍රිකට් ගිණුමට බැරව ඇති හෙයිනි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි වියදම් සඳහා රු. මිලියන 250ක ණයක් මෙරට රාජ්‍ය බැංකුවකින් ඉල්ලා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණු පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලින් විධායක කමිටු සාමාජිකයන් රට සවාරි යාම සේවකයන්ගේ උදහසටද ලක්ව තිබේ.මෙහිදී නිල ආරාධනයක් සහිත ක්‍රිකට් නිලධාරීන්ට රු.ලක්ෂ 02ක මුදලක් හා දිනකට ඇමෙරිකානු ඩොලර් 350ක දීමනාවක් ලබාදී තිබේ. ශූරයන්ගේ කුසලානය සඳහා නිල ආරාධනා පවතිනුයේ ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම්, උපලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු දරන නිලධාරීන්ට පමණි.
කෙසේ වෙතත් උපසභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස හා කේ. මතිවානන් යන මහත්වරු ක්‍රිකට් ආයතනයේ මුදලින් රට යාම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන්ගේ පෞද්ගලික වියදමින් හෝ මෙම සංචාරයට සහභාගි නොවන බව අනාවරණය වේ.මෙහිදී පැනනගින තවත් ගැටලුවක් වනුයේ, මෙම ක්‍රිකට් තරග නැරඹීම සඳහා යා යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට හෝ සේවකයන්ට එම අවස්ථාව අහිමිකර ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයන් බුරුතු පිටින් යාමයි. ඊට හොඳම උදාහරණය ලෙස මූල්‍ය කමිටු සභාපතිවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් රේඩියෝවේ යැයි කියාගන්නා පිරිස් මෙම සංචාරයට සහභාගිවීමයි.
එනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ගරු සේවයට පැමිණ මෙලෙස ක්‍රිකට් ආයතනයේ මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ගැටලු ගණනාවක් උද්ගතව ඇති අතර, ඉදිරියේදී මෙරටදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ හා ඉන්දීය සංචාර පිළිබඳව පැවැති සාකච්ඡාවකදීද ක්‍රිකට් නිලධාරීන් දෙදෙනකු අතර මුදල් සම්බන්ධයෙන් උග්‍ර ගැටුමක් හටගෙන ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ රු. බිලියනයක මුදලක් සුරක්ෂිත කිරීමට හැකි වූවා යැයි පාරම් බෑ ක්‍රිකට් ප්‍රධානීන් මේ වනවිට රාජ්‍ය බැංකුවලින් ණය ගැනීමට යොමුවීමට තරම් ක්‍රිකට් ආයතනය තුළ වන මූල්‍ය අක්‍රමිකතා ප්‍රබල වී ඇති බව පෙනී යයි. මෙම රට සවාරි යාමටද ඉන් වැඩි මුදල් සම්භාරයක් වැයව තිබීම කනගාටුවට කරුණකි.