ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කටයුතුවලට ඉදිකළ නව ශ්‍රවණාගාරය සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරමින් ව්‍යාපෘතිය භාරගත් සමාගම ඉවතලමින් ටෙන්ඩරයටවත් අයදුම් නොකළ පුද්ගලයෙක්ට එම ව්‍යාපෘතිය ලබාදීමට පියවර ගෙන ඇතැයි ‘අද’ට වාර්තා වේ. මෙහිදී අදාළ ව්‍යාපෘතිය සඳහා නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුව රුපියල් ලක්ෂ 65ක මුදලකට ටෙන්ඩරය ගණනය කර තිබුණද, ඊට වඩා වැඩි මුදලක් අය කළ (රු. ලක්ෂ 68කට) ටෙන්ඩර් පටිපාටියෙවත් නොසිටි ආයතනයකට මෙය ලබාදී තිබේ.
තවද මෙම ගනුදෙනුව කිසිදු විනිවිදභාවයකින් තොර බවද අනාවරණය වන්නේ එහි ගැටලු රාශියක් පැවතීම හේතුවෙනි. මෙම ගනුදෙනුවේ අක්‍රමවත් බව පසක් කරන එක් කරුණක් නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි සැපයුම්කරුවන් අතර මෙම ආයතනයේ නම ඇතුළත්ව නොතිබීමයි. එහෙයින් මීට අදාළව පැනනගින බලවත් ගැටලුවක් වනුයේ එවැනි ලියාපදිංචියක් හෝ නොමැතිව ටෙන්ඩර් පටිපාටියෙන් බාහිර පුද්ගලයෙකුට මෙම ව්‍යාපෘතිය බාර දුන්නේ කාගේ වුවමනාවටද යන්නයි.
මෙම ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට්හි වෙනත් රාජකාරි කටයුතු සිදුකර ඇතත් (ආසියානු ක්‍රිකට් කවුන්සිල ගොඩනැගිල්ල වීවෘත කිරීමට අදාළ Marquee ඉදිකිරීම හා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Marquee ඉදිකිරීම) ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මෙවැනි ගනුදෙනු ලබාදීමෙන් යළිත් වරක් තහවුරු වනුයේ මෙවැනි ගනුදෙනුවලට අදාළ මූල්‍ය විනිවිදභාවයක් නොමැති වීමයි.
අනෙක් කරුණ වනුයේ ටෙන්ඩර් ක්‍රියාවලියකින් යම් සමාගමක් මෙම ව්‍යාපෘතියට තෝරාගෙන තිබියදී එය අවලංගු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිතුමතේ ක්‍රියා කර ඇති බවයි. එලෙස ටෙන්ඩර් ක්‍රියාවලියකින් පැමිණි සමාගමට මෙම ව්‍යාපෘතිය ලබා නොදුන්නේ ඇයිදැයි යන්න ශ්‍රී ලංකා ක්‍රිකට්හි මූල්‍ය විනිවිදභාවය ප්‍රශ්න කරන තවත් එක් හිඩැසක් ලෙස පෙන්වාදිය හැකිය.
මීට අදාළව සිදුවූ අනෙක් හාස්‍ය ජනක කරුණ නම්, මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළමු මහල තුළ මාධ්‍ය හමු පැවැත්වීමට තිබූ ශ්‍රවණාගාරය පාටිෂන් කරමින් ක්‍රිකට් ලොක්කන්ට හා ඔවුන්ගේ ලේකම්වරියන්ට රාජකාරී ඉඩ පහසුකම් සැලසීමයි. එලෙස උසස් තත්ත්වයෙන් තිබුණු ශ්‍රවණාගාරය ඉන් ඉවත් කර
ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් බලධාරීන් පසුගිය කාලය පුරා මාධ්‍ය හමු සංවිධානය කළේ තරු පන්තියේ හෝටල්වලය. කෙසේ වෙතත් නැවතත් තාවකාලිකව යැයි පවසමින් මාධ්‍ය හමු පැවැත්වීමට මෙම ස්ථානයට තවත් මිලියන 06කට වැඩි මුදලක් වැය කර තිබීම කනගාටුවට කරුණකි.
මෙම මාධ්‍ය හමු පැවැත්වීමට වෙන්කර ඇති ස්ථානය පළමුව පසුගිය ඉන්දීය සංචාරය සඳහා පමණක් යැයි පවසමින් ඉදිකර තිබු අතර, මේ වනවිට එය ස්ථීරව මාධ්‍ය හමු පවත්වන ස්ථානයක් බවට පත්ව තිබෙනුද දැකගත හැකිය.මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, ටෙන්ඩර් ක්‍රියාවලිය අවලංගු කර ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්ව වැඩ රාජකාරි කළ වෙනත් ආයතනයකට ලබාදීමට පාලනාධිකාරිය තීරණය කළ බවත්, එහෙත් එම අදාළ සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට්හි ලියාපදිංචි සැපයුම්කරුවෙක් නොවන බවත්ය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ එම උසස් නිලධාරියා,"අපි ටෙන්ඩර් එක අවලංගු කළේ මේක තාවකාලිකව ඉදි කිරීමට යෝජනා වුණු නිසයි. පසුව තීරණය වුණා තාවකාලිකව ඉදි කරන්න මෙතරම් මුදලක් වැයවෙනවා නම් අපිට මෙය ස්ථිරවම ඉදි කරගන්න පුළුවන් කියලා. ඉතින් ටෙන්ඩර් එක නැවැත්තුවාම අපි මෙය බාරදුන්නු සමාගම කැඳවලා විමසීමක් කළා තාවකාලිකව ඉදි කරන්න යන මුදලට අඩුවෙන් මේක කරන්න පුළුවන්ද කියලා. ඔවුන් ලක්ෂ දෙකක් අඩුවෙන් මේක කරන්න ඉදිරිපත් වුණු නිසයි අපි ඔවුන්ට මෙය ලබාදුන්නේ. නැත්නම් අපි කවදාවත් මේක මේ විදිහට දෙන්නේ නෑ. කෙසේවෙතත් අපි ඔවුන්ට තාම මුදල් ගෙවලා නැහැ. අපි අපේක්ෂා කළ තත්ත්වයට මෙය සාදන තෙක් මුදල් පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා" යැයි පවසා සිටියේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් අප මේ පිළිබඳව කරුණු විමසීමක් සිදුකළ අතර, ප්‍රවෘත්තියට අදාළව කරුණු ලබාදීමට ඔවුන් එකඟ වුවත් පුවත්පත මුද්‍රණයට යනවිටත් එම තොරතුරු ලිඛිතව ලබාදීමට ඔවුන් අපොහොසත් විය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාධ්‍ය හමු පැවැත්වීමට ශ්‍රවණාගාරයක් අත්‍යවශ්‍යය. එය සිදුකළ යුතුව ඇත්තේ මූල්‍ය විනිවිදභාවයක් හා නිසි ක්‍රියා පටිපාටිවලට අනුවය.
නමුත් සිදුවන්නේ ටෙන්ඩර් අවලංගු කරමින් හිතවත්කම් පදනම් කරගනිමින් මෙවැනි ගනුදෙනු අක්‍රමිකතාවලින් යුක්තව සිදුවීමයි. මෙය වහා වැළැක්වීමට වත්මන් පාලනාධිකාරිය ඉදිරිපත් විය යුතුය. ඒ ඔවුන් යහපාලනය ඇති කිරීමට හා මෙවැනි ගනුදෙනු නිසි ක්‍රමවේදවලට සිදුකිරීමට ප්රතිඥාදී ඇති හෙයිනි. එසේ නොවුනහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වැටී ඇති ආගාධයෙන් ගොඩ ඒමට කිසි දිනක නොහැකිවනු ඇත.