ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී (CEO) ඈෂ්ලි ද සිල්වා මහතාගේ වැටුප සියයට 30කින් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ජෙරොම් ජයරත්න මහතාගේ වැටුප සියයට 15කින් වැඩි කිරීමට පසුගිය මැයි මස 28 වැනිදා පැවැති ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු පරිපාලනය තීන්දු කර තිබේ.
ඒ අනුව පසුගිය ජුනි මස 01 වැනිදා සිට ඔවුන්ව නව වැටුප් තලයේ ස්ථාපිත කර තිබේ. කෙසේ වෙතත් වසර දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට හිටපු පරිපාලනය පියවර නොගත් අතර, මෙලෙස සේවකයන් කිහිපදෙනෙකුගේ පමණක් වැටුප් වැඩි කිරීම අසාධාරණ බව එහි සේවකයෝ පෙන්වා දෙති.
මේ අතර, හිටපු පරිපාලනය නව පත්වීම් 05ක්, එක් උසස්වීමක් සහ තනතුරු 03ක කාලය අවුරුද්දකින් දීර්ඝ කිරීමට අනුමැතිය ලබාදී තිබේ.
එහිදී නව පත්වීම් අතරට 19න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතාවද (රු.525,000), ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස වරුණ වරාගොඩ මහතාවද (රු. 75,000ක දීමනාවක් සහ තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස රු. 100,000ක වැටුපක් මාසිකව), දත්ත විශ්ලේෂකයන් ලෙස ශිරන්ත නිරෝෂන් සහ කාවිංග පෙරේරා යන සේවකයන්වද (රු. 64,800), ප්‍රමාණ සමීක්ෂක ලෙස (Quantity Surveyor) හර්ෂ රාජසේකර මහතාවද, (වසර 02ක කොන්ත්‍රාත් කාලයකට මසකට රු.110,000 බැගින්) ඇතුළත්ව තිබේ.
මීට අමතරව හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අපසාරි තිලකරත්න මහත්මියගේ (කාන්තා ක්‍රිකට් උපදේශක) හා ක්‍රිශාන්ත ද සිල්වා සහ මහින්ද ගුණරත්න (කාර්යාල කාර්ය සහායක) යන අයගේ සේවා කොන්ත්රාත්තුද වසරකින් දීර්ඝ කිරීමට එම විධායක කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
එසේම ප්‍රණීත් පීරිස් (දිස්ත්‍රික් පුහුණුකරු), සහස් ගාමිණී පෙරේරා (පළාත් පුහුණුකරු) යන පුහුණුකරුවන්ගේ කාලයද දීර්ඝ කිරීමට අනුමැතිය ලබාදී තිබේ. මේ අතර ක්‍රිකට් ආයතනයේ කාර්යාල කාර්ය සහායක ටී. බණ්ඩාරට උසස්වීමක් ලබාදී ඇති අතර, ඔහුව රු. 48,000ක මූලික වැටුප් තලයේ පිහිටුවාලීමට අනුමැතිය ලබාදී තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිනි රසාංජලී ද අල්විස් මහත්මියට මාසිකව රු. 100,000ක දීමනාවක්ද, කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්ට රු. 60,000ක දීමනාවක්ද අනුමත කර තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් රේඩියෝවේ සේවකයෙකු ලෙස කටයුතු කළ බන්දුල සමන් වතුරේගමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වීඩියෝපට සහ ශ්රව්යකරණ කටයුතු සම්බන්ධීකරණය කිරීමට සහ දිස්ත්‍රික් මට්ටමේ ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් රු. 40,000ක මුදලක් අනුමත කර තිබේ.
එහෙත් එම කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරුවන් දෙදෙනා වන ප්‍රසන්න රොඩ්රිගෝ සහ දිනේෂ් රත්නසිංහම් ඇතුළු මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය විසිනි. එය විධායක කමිටු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න මහතා විසිනි.