ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම මස 31 වැනිදා පැවැත්වෙන බව පැවසුණද, ක්‍රිකට් නිලවරණ කමිටුවට අදාළ කාර්යභාරයන්, නිලවරණ කමිටුවක් කෙසේ ක්‍රියාත්මක විය යුතුද සහ එහි සංයුතිය කෙබඳුද යන්න ක්‍රීඩා පනතේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සඳහන් නොවීම තුළ නිලවරණය යළිත් කල්යන ලකුණු පහළ වී තිබේ.
මේ වන විට නිලවරණ කමිටුව පත්කර ගැනීම සඳහා විශේෂ මහාසභා රැස්වීමක් මෙම මස 19 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති අතර, එහෙත් නිලවරණ කමිටුවක් පත්කර ගැනීම තුළ පමණක් නිලවරණයක් පැවැත්විය නොහැකි බව ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජික සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතා 'අද' පුවත්පතට පැවසීය.
"මෙම වසරේ ජනවාරි 07 වැනිදා සම්මත කරගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව නිලවරණ කමිටුව (ක්‍රීඩා නීතිය සහ රෙගුලාසි ප්‍රකාරව) නීත්‍යනුකූලව සකස් කරලා නැහැ. ඊට අමතරව නිලවරණ කමිටුව කෙසේ ක්‍රියා කළ යුතුද යන්න එහෙමත් නැත්නම් එය ක්‍රියාත්මක වන ආකාරයක් සඳහන් වෙලා නැහැ. ක්‍රීඩා පනතෙත් මෙය සඳහන් කර නැහැ. රෙගුලාසිවල පමණයි තිබෙන්නේ, එහෙත් රෙගුලාසිවලින් පැහැදිලි කරලා නැහැ කොහොමද නිලවරණයක් පවත්වන්න ඕන කියලා. රෙගුලාසිවල තිබෙන්නේ විධානයක් පමණයි. එහිදී විධානයක් දෙනවා කරුණාකරලා නිලවරණ කමිටුවක් පත් කරගෙන ඒ අනුව කටයුතු කරන්න කියලා.
එහෙත් අදාළ ව්‍යවස්ථාවේ තියෙන්න ඕන නිලවරණ කමිටුවක් පත්වෙනවා, ඒ කමිටුවේ සංයුතියක් තිබිය යුතුයි, එහි නිලධාරීන්ට නීත්‍යනුකූලව බලය පැවරෙන්න ඕන, නිලවරණය පවත්වන ආකාරය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන්න අවශ්‍යයි යනාදී වශයෙන් පැහැදිලි කිරීමක්. අවසානයේදී නිලවරණ කමිටුවේ සියලු සාමාජිකයන්ගේ අත්සනින් යුතුව නිල ප්‍රතිඵල ඉදිරිපත් කළ යුතුයි.
මේ කිසිවක් ව්‍යවස්ථාවට ඇතුළත් කර නැහැ. එනිසා නිලවරණ කමිටුවක් පත්කර ගැනීමෙන් පමණක් නිලවරණයක් පවත්වන්න බැහැ. නිලවරණ කමිටුවට බලතල පැවරීමක් ව්‍යවස්ථානුකූලව සිදු විය යුතුයි. ඒක ප්‍රධාන ඌණතාවක් අපට මෙම නිලවරණයේදී දැකගන්න ලැබුණු. ඒ නිසා එම ඌණතාව සකස් නොකරගෙන නිලවරණයක් පැවැත්වීමෙන් යළිත් මෙම නිලවරණයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටලුවක් පැන නගින්න පුළුවන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුව නිසි ලෙස මෙම ගැටලුවට පිළියම් යෙදිය යුතුයි. නිලවරණයට පෙර අනිවාර්යයෙන් ඔවුන් ව්‍යවස්ථාවට එම කරුණු ඇතුළත් කළ යුතුයි. එසේ නොකළහොත් මෙම නිලවරණයත් නීත්‍යනුකූල නොවෙනවා" යනුවෙන් හෙතෙම ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
මෙම ගැටලුවට ක්‍රීඩා පනතට එක්කළ රෙගුලාසිවලද නිසි අයුරින් බලතල පැවරීමක් සිදුව නොමැති අතර, ක්‍රීඩා අමාත්‍යවරයාට යළිත් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් නිලවරණ කමිටුවේ කාර්යභාරයන්, නිලවරණ කමිටුවක් කෙසේ ක්‍රියාත්මක විය යුතුද සහ එහි සංයුතිය කෙබඳුද යන්න ව්‍යවස්ථාපිතව අර්ථකතනයක් සිදු නොකර වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව මෙම මස 31 වැනිදා නිලවරණයක් පැවැත්වීමට උත්සාහ කළහොත් නිලවරණය යළිත් කල්ගොස් මෙම ගැටලුව තවත් දිග්ගැස්සෙනු ඇති බව නීති විශාරදයෝ පවසති.