ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතුව සිටියදී කොන්ත්‍රාත් කාලය නිමවීමටත් පෙර අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළේ යැයි චෝදනා කරමින් එහි සේවය කළ නිලධාරිනියක රු. මිලියන 08ක වන්දියක් ඉල්ලා නඩුමගට පිවිස තිබේ. එමෙන්ම එහි සේවයේ නියුතුව සිටියදී ඇයට මානසික පීඩා සහ අසාධාරණකම් කර ඇතැයි වාර්තා වන එක් නිලධාරියෙක් මේ වනවිට අධිකරණය (LABOUR TRIBUNAL) මග හරිමින් නඩු වාර දෙකකට සහභාගි නොවී ඇතැයිද පැවසේ.
වින්දිත පාර්ශ්වය පවසා සිටිනුයේ, තමාට ක්‍රිකට් ආයතනය තුළ සිටියදී මානසික පීඩා සහ අසාධාරණකම් කළ තවත් නිලධාරින් 06 දෙනෙකුගේ නම් ඉදිරියේදී තමන් හෙළි කිරීමට සූදානම් බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් වන මොහු පසුගිය සැප්තැම්බර් මස 27වැනිදා පැවති පළමු නඩු වාරයට විදෙස් සංචාරයක් හේතුවෙන් සහභාගි නොවී ඇති අතර, දෙවැනි නඩු වාරයටද (පසුගිය නොවැම්බර් මස 02 වැනිදා පැවති) අයහපත් සෞඛ්‍යය තත්ත්වයක් යැයි පවසමින් සහභාගි වී නොමැත.
‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සේවයෙන් ඉවත් කළ මෙම නිලධාරිනිය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සහ තවත් එක් ප්‍රධාන පෙළේ නිලධාරියෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ. කෙසේ වෙතත් ඇයගේ කොන්ත්‍රාත් කාලය තවත් වසර එකහමාරක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් සේවයෙන් ඇයව ඉවත් කර ඇත්තේ ඇයගේ රාජකාරි කටයුතු පිළිබඳව පරිපාලනය සතුටුදායක තත්ත්වයක නොමැති නිසා (Poor Performance) බව පවසමිනි.
එහෙත් ඇයට යොමුකළ දඬුවම් පත්‍රයේ (Chargesheet) දක්වා ඇත්තේ වෙනත් චෝදනා කිහිපයකි. එම චෝදනා අතරට ප්‍රමාදවී සේවයට වාර්තා කිරීම, ආයතනය තුළ කොණ්ඩය සකස් කිරීම, රාජකාරි වේලාවන් තුළ නිය ආලේපන ගැල්වීම සහ මේකප් දැමීම, ඇයගේ පෞද්ගලික දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීම, සේවය හමාර කර ආයතනයෙන් නිසි පරිදි පිටත් නොවී ජොගින් යාම, ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී ඊට ගරු නොකර අසුනින් නොනැගිටීම සහ වෙනත් කටයුතු සිදුකිරීම යනාදියයි.
එහෙත් ඇයගේ සේවය හමාර කිරීමේ ලිපියේ සඳහන්ව ඇත්තේ රාජකාරි කටයුතු පිළිබඳව පරිපාලනය සතුටුදායක තත්ත්වයක නොමැති බවය. එනිසා ඇය සාධාරණයක් අපේක්ෂාවෙන් සිය කොන්ත්‍රාත්තුවට අදාළ මුදල් සහ ඇයට සිදුකළ මානසික පීඩාවන්, අසාධාරණකම්වලට රු. මිලියන 08ක් වන්දි ඉල්ලා තිබේ. මෙම නඩුවේ මීළඟ නඩු වාරය ලබන වසරේ ජනවාරි මස 05 වැනිදා පැවැත්වීමට නියමිතය.