වත්මන් ක්‍රිකට් ගැටලුව සම්බන්ධයෙන් තමන් ජනපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කළත් තවමත් ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබුණු බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසා සිටියේය.
එම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මම මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා, අගමැතිවරයා හා ජනාධිපතිවරයා දැනුවත් කරලා තියෙනවා.
නමුත් තවමත් සතුටුදායක පිළිතුරක් නැහැ. මම කියන්නේ මේ ආණ්ඩුව තමයි ක්‍රිකට් විනාශය වන තෙක් බලන් ඉන්නේ කියලා. ඒකෙන් ආණ්ඩුවට ගහන එකක් නෙමයි මම කරන්නේ. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ආගමක් වගේ දෙයක්. ඒක විනාශ වෙනවනම් අපේ කාලේ, විශේෂයෙන්ම මම වගේ කෙනෙක් ඇමැති වෙලා ඉන්න කාලේ, මිනිස්සු අපිටයි ඇඟිල්ල දිගු කරන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේ පැවැත්වෙන ඉන්දීය තරගාවලිය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ලෝක කුසලාන තරගාවලියේද දෙවැනි වටයට පිවිසිය හැකි වෙතැයි මා විශ්වාස කරන්නේ නැහැ.
මම මීට පෙර ක්‍රිකට් ගැන කියූ අනාවැකි වැරදිලා නෑ. මේ යන විදියට ගියොත් ලෝක කුසලානයේදී අපි කොහෙන් ඉවර වෙයිද දන්නේ නැහැ. මෙවර ලෝක කුසලාන තරගාවලිය තියෙන්නේ එංගලන්තයේ. එතරම් ලේසි තැනක් නෙමෙයි අපිට ක්‍රීඩා කරන්න. ඒ වගේම ක්‍රීඩකයන්ගේ විනය. එය හදන්නවත් මේ අයට (පරිපාලනයට) බැහැ.
දැන් බලන්න පිටරටින් ගෙන්නපු පුහුණුකරුවා ඩුබායි යනවා එහි තිබුණු තරග දෙකට. නමුත් පකිස්ථාන තරගයට ඔහු යන්නේ නැහැ. බැහැයි කියනවා. නමුත් අපේ ක්‍රීඩකයෝ ?? පකිස්ථාන තරගය යන්නේ නැහැයි කිව්වාම ඩුබායි තරගයෙනුත් අයින් කළා. එතොකොට පුහුණුකරුවන්ට එක විදියක්. ක්‍රීඩකයින්ට එක විදියක්. ” යැයි ද පවසා සිටියේය.