ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු ලේකම්වරියන් 10ක් සිටියදී ඉන් ලේකම්වරියන් සිවුදෙනෙකුට පමණක් අත්තනෝමතිකව දීමනා වැඩිකර ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.
ඔවුන් පෙන්වා දෙන්නේ, එම ලේකම්වරියන් සිවුදෙනාට වැටුපට අමතරව සවස 5.30න් පසු සේවය කරන සෑම පැයකටම රු.1000ක දීමනාවක් ලබාදීමට පසුගියදා පැවැති රැස්වීමකදී (Management Committee) ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇති බවයි.
මෙහිදී තවත් ලේකම්වරියකට රු.20,000කින් වැටුප් වැඩිකර ඇතැයිද චෝදනා කරන සේවකයෝ, මෙලෙස ලේකම්වරියන් සිවුදෙනෙකුට පමණක් දීමනා වැඩිකිරීම හා එක් ලේකම්වරියකට පමණක් වැටුප් වැඩිකිරීම යුක්ති සහගත නොවන බවද පෙන්වා දෙති.
ක්‍රිකට් ආයතන සේවකයන් පවසන්නනේ, රාජ්‍ය බැංකුවකින් වාණිජ ණයක් ලබාගෙන සිටින මෙම අවස්ථාවේදී, ලේකම්වරියන් කිහිපදෙනෙකුගේ වැටුප් හා දීමනා වැඩිකිරීමෙන් ක්‍රිකට් ආයතනයේ ණය බර තව තවත් උග්‍ර අතට පත්වනු ඇති බවයි.
එමෙන්ම මෙම ලේකම්වරියන්ට රු.70,000කට ආසන්න මාසික වැටුපක්ද (ප්‍රවාහන වියදම් හා දුරකථන වියදම් අමතරව ගෙවනු ලැබේ) ගෙවනු ලබන පසුබිමක, සේවක වැටුප් හා දීමනා වැඩි නොකර ලේකම්වරියන් සිවුදෙනෙකුට පමණක් දීමනා හා වැටුප් වැඩි කිරීම බලවත් අසාධාරණයක් බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මීට අමතරව ක්‍රිකට් ආයතන ලේකම්වරයාගේ කාර්ය කටයුතු සඳහා සහාය දක්වන ලේකම්වරියටද මෙම දීමනාව ලබාදීමට එම රැස්වීමේදී යෝජනා කර ඇතත්, ලේකම්වරයා ඊට දැඩි ලෙස විරුද්ධ වීමෙන් එම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයිද අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීයෙක් පවසා සිටියේ, එවැනි තීන්දුවක් අදාළ රැස්වීමේදී ගනු ලැබුවේ, අදාළ ලේකම්වරියන්ට බොහෝ රාජකාරී වැඩකටයුතු සිදුකිරීමට ඇති හෙයින් බවයි.
එනිසා අදාළ ලේකම්වරියන්ගේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට ක්‍රිකට් පරිපාලනය තීරණය කළ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී ලේකම්වරියන් 10ක් ක්‍රිකට් ආයතනය තුළ සේවය කරද්දී, තෝරාගත් ලේකම්වරියන්ට පමණක් මෙලෙස විශේෂ කර සැලකීමට එරෙහිව ක්‍රිකට් ආයතන සේවකයන්ගේ දැඩි අප්‍රසාදය පළව ඇති අතර, ඔවුන් තමාටද දීමනා හා වැටුප් වැඩිකර දෙන මෙන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇතැයි අනාවරණය වේ. මීට අදාළව ඔවුන් පෙන්වා දෙන්නේ ලාභ ලැබුවා යැයි ක්‍රිකට් ආයතනයම ප්‍රකාශ කිරීම නිසා සේවක වැටුප් හා දීමනා වැඩිකිරීමේ ගැටලුවක් ක්‍රිකට් ආයතනයට පැන නොනගින බවයි.
මෙම වැටුප් වැඩිකළ එක් ලේකම්වරියක් ක්‍රිකට් ආයතනයේ සේවයට අමතරව වෙනත් ස්ථානයකත් සේවය කරන බවද, මෙවැනි ලේකම්වරියන්ට ශ්‍රී ලංකා ක්‍රිකට්වල මුදල් නිරපරාදේ නාස්ති කරන බවද සේවකයෝ චෝදනා කරති.
සේවකයන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් හා රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙම මුදල් නාස්තිය වහා මැදිහත්ව නවතාලන ලෙසයි. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා හෝ රජයේ බලධාරීන් මේ සම්බන්ධයෙන් මෙතෙක් මුණිවත රැකීම කනගාටුවට කරුණක් බවත් ක්‍රිකට් ආයතනයද දිනෙන් දින මෙමගින් පරිහානිය කරා ගමන් කිරීම නොවැළැක්විය හැකි බවත් සේවකයෝ චෝදනා කර සිටිති.