"ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය වැළැක්වීමට කුමක් හෝ කරන්න වෙයි. ඇත්තටම අපි කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයෝ තෝරා ගන්න ඕන. අද තියෙන්නේ පරිපාලනයේ ප්‍රශ්නයක්. රටක නීතියක් තියෙනවා. ඒ අනුව කටයුතු කර ඊළග අනාගතයට ක්‍රිකට් ඉතිරි කළ යුතුයි. ඒ සඳහා කුමක් හෝ කරන්න වෙයි." යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පවසති. උන්වහන්සේ මේ පැවැසුවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උන්වහන්සේව බැහැදුටු අවස්ථාවේදීය.
ඉන් අනතුරුව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හමුවීමට ගොස් තිබේ.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රිකට් පරිහානිය නතර කිරීමට ක්‍රිකට් පරිපාලනය භාරගෙන කටයුතු කරන්නැයි මහානායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.
පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ක්‍රිකට් වැඩමුළුවට සහභාගි නොවූයේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් විමසා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,
"ක්‍රිකට්වලට ආදරය තියෙන කිසිම කෙනෙක් ඔතැනට යන්නේ නැහැ. එතැන තනිකරම වංචාවක් ප්‍රෝඩාවක් කළේ. මේ වැඩමුළුව කරන්න තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය. නමුත් එහෙම වුණේ නැහැ. මට එවූ ආරාධනා පත්‍රයේ පැමිණීම සනාථ කිරීමට දැනුම්දිය යුතු දුරකථන අංකයට යොදා තිබුණේ ගයත්‍රි කියන අයකුගේ නමක්. ඒ තැනැන්තිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩකරන නිලධාරිනියක්. ඒකෙන්ම පේනවා මේ කරන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය අද තියෙන ප්‍රශ්න ටික කල් දැමීමේ ක්‍රියාමාර්ගයක්. ඒ වගේම ඇමතිතුමා කියනවා මේක වැදගත් සාකච්ඡාවක්.
නමුත් එතුමා මේ වැඩමුළුවේ ඉන්නේ විනාඩි පහක් දහයක් වගේ සුළු වෙලාවක්. ඇත්තටම එතුමාට ක්‍රිකට් ගැන කැක්කුමක් නෑනේ. එතුමා ක්‍රිකට් ගහලත් නැහැ. ක්‍රිකට් ගැන දැනුමකුත් නැහැ.
ක්‍රීඩා අමැතිතුමා කියනවා මම පාරවල්වල කථා කරනවා කියලා. නමුත් මගේ ජීවිතය කියන්නේ ක්‍රිකට්. මම යම් දෙයක් ලබා ගත්තා නම් ලබා ගත්තේ ක්‍රිකට්වලින්. ඒ හින්දා රටේ ක්‍රිකට් විනාශ වෙන එක මට බලන් ඉන්න බැහැ. මම ක්‍රිකට් වෙනුවෙන් ඕන තැනක ගිහිල්ලා කථා කරනවා. ඒක මෙහෙ කරගන්න බැරි වුණොත් ලෝක ක්‍රිකට් කවුන්සිලයට හරි ගිහිල්ලා ඔවුන්ව දැනුවත් කරනවා අපේ රටේ ක්‍රිකට්වලට වෙන විනාශය ගැන. එතැනට යන්න කලින් මම තව ටික කාලයක් දෙනවා.”