ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 19දා පැවැත්වීමට දින යොදා තිබුණද නිලවරණය මෙහෙයවන නිලවරණ කමිටුව ක්‍රීඩා පනත ප්‍රකාරව පත් නොකරගෙන, ක්‍රිකට් විධායක කමිටුවෙන් පත්කර ගැනීම හේතුවෙන් නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.
අනතුරුව ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා අමාත්‍යවරයා අන්තර්කාලීන කමිටුවක් ලෙස හිටපු පරිපාලනයේ නිලධාරීන්ම පත්කළ අතර, අමාත්‍යාංශ නියෝජිතයෙකු පත් නොකිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව නව රෙගුලාසි ක්‍රීඩා පනතට අන්තර්ග්‍රහණය කිරීමත් සමග මෙවැනි ගැටලු මතු වූ ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධිත සෑම ක්‍රීඩා සංගමයකටම ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිතයෙකු පත්කළ හෙයිනි.
විශේෂයෙන් පනත උල්ලංඝනය කිරීම වැනි කාරණාවක් ක්‍රීඩා අමාත්‍යවරයා තාක්ෂණික ගැටලුවක් ලෙස අර්ථකථනය කිරීම මෙහිදී සාවද්‍ය අර්ථකථනයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ ක්‍රිකට් ආයතනයට ජනවාරි මස පැවැති අතිවිශේෂ මහසභා රැස්වීමේදී නිලවරණ කමිටුව පත් කරගැනීමේ හැකියාව තිබියදී එය පත්කර ගැනීම කුමන හෝ කරුණක් මත සිදු නොකිරීම හේතුවෙනි. පසුව ඔවුන්ට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ලිපියක් ලැබෙණුයේ නිලවරණ කමිටුව සඳහා ක්‍රිකට් විධායක කමිටුව කැඳවා නිලධාරීන් පත්කරගන්නා ලෙසයි. ඒ නිසා මෙය අමාත්‍යවරයා පවසන පරිදි තාක්ෂණික ගැටලුවක් නොවන බවත්, සිතාමතා හෝ වෙන යම් ආකාරයකින් සිදුකළ වැරද්දක් බවටත් පැහැදිලිය.
මේ පිළිබඳව අප ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජික සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු පවසා සිටියේ නිලවරණ කමිටුව පත්කරගැනීම පනත ප්‍රකාරව සිදු නොකර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග නිකුත් කිරීම පනතට පටහැනි ක්‍රියාවක් බවයි.
&ක්‍රීඩා නීතිය අනුව යම්කිසි ගැටලුකාරී වාතාවරණයකදී අතුරු කමිටු පත්කිරීමේ බලය ක්‍රීඩා අමාත්‍යවරයාට ලැබිලා තියෙනවා. නමුත් අතුරු කමිටු පත්කරන බොහෝ අවස්ථාවල අමාත්‍යංශ ලේකම්, සහකාර ලේකම්වරයෙක් හෝ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා ඊට ඇතුළත් කර තිබෙනවා. අතුරු කමිටුවක් දාන්නේ ඡන්දෙන් පත් වුණු අය නිසි පරිදි කටයුතු නොකරපු නිසයි. මෑත කාලීනව බොහෝ කමිටුවලට ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජනයක් ඇතුළත් වුණා. ඒ නිසා ක්‍රිකට් අන්තර් කාලීන කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශයෙනුත් නියෝජනයක් ඇතුළත් වුණා නම් වඩාත් හොඳයි' යැයි ඒ මහතා එහිදී පවසා සිටියේය.
නිලවරණ කමිටුව පත්කර ගැනීමේ විශේෂ මහසභා රැස්වීම මැයි මස 13 වැනිදාට යොදා ඇති බවට පැවසුවද මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය පැවසුවේ තවම එවැනි නිල නිවේදනයක් මාධ්‍ය අංශයට ලැබී නොමැති බවයි.