ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සේවයට පැමිණි (වැටුප් නොලබන) විධායක කමිටු සාමාජිකයන්ට පැය 24ම ක්‍රියාත්මක වන ප්රතිලාභවලින් යුක්ත රක්ෂණාවරණයක් ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මෙම වසරේ මැයි මස 28 වැනි දින පරිපාලන කමිටු සාකච්ඡාවට ඉදිරිපත් කළ හා අදාළ රක්ෂණාවරණය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන දෙපාර්තමේන්තුවෙන් (Administration Department) MC 27/6.4/01 යන පත්‍රිකාව යටතේ ඉදිරිපත් කර ඇති අතර, ඊට ජුනි මස 03 වැනි දින පැවැත්වූ පරිපාලන කමිටු රැස්වීමේදීද අවධානය යොමුකර තිබුණි.
මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් 04 කින් මිල ගණන් කැඳවා අඩුම මිල ගණන් ඉදිරිපත් කළ රක්ෂණ සමාගමට මෙම රක්ෂණාවරණය ලබාදී තිබේ. එම රක්ෂණ සමාගම එහිදී ඉදිරිපත් කර ඇති මිල ගණන් වූයේ රු. 662,375 ක් (බදු නොමැතිව) මුදලකි.
මෙහිදී මෙම රක්ෂණාවරණය විධායක කමිටු සාමාජිකයන් 14 දෙනෙක්ට නිර්දේශ කර ඇති අතර, ලොව පුරා ඕනෑම අවස්ථාවක පැය 24ම ක්‍රියාත්මක වාර්ෂික රක්ෂණාවරණයක් ලෙස ඇගයීම් කර තිබේ.
මෙම රක්ෂණාවරණය අනුව විධායක කමිටු සාමාජිකයෙකුට වෛද්‍ය පහසුකම් සඳහා රු. ලක්ෂ 04ක මුදලක්ද අනතුරකදී රු. ලක්ෂ 25ක මුදලක්ද අවදානමක් සහිත රෝගාබාධයකදී රු. ලක්ෂ 10ක මුදලක්ද යෝජනා කර තිබේ.
මෙම රක්ෂණාවරණයේ තවත් විශේෂත්වයක් වනුයේ ආයුර්වේද ප්‍රතිකාර සඳහාද විධායක කමිටු සාමාජිකයන්ට ප්රතිලාභ හිමිව තිබීමයි. ඒ අනුව ආයුර්වේද රෝහල් 05ක් (ලංකාව පුරා පිහිටි ඕනෑම ආයුර්වේද රෝහලක්, සිද්ඬාලේප රෝහල - ගල්කිස්ස, පිලපිටිය ආයුර්වේද රෝහල, වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල, සුගත රසායනාගාර රෝහල - හොරණ) ඒ සඳහා යෝජනා කර තිබේ.
එසේම මූල්‍ය ප්රතිලාභ ඍජුව ගෙවනු ලබන රෝහල් 53ක්ද ඊට අමතරව ප්‍රතිකාර ලබාගැනීමට යෝජනා කර තිබේ.
මෙම රක්ෂණාවරණයේ ප්රතිලාභ හිමි විධායක කමිටු සාමාජිකයන් 14 දෙනාගෙන් 13 දෙනෙක්ගේ නම් මේ වනවිටත් අදාළ රක්ෂණ සමාගම වෙත යොමු කර ඇතැයිද රක්ෂණාවරණයට අදාළ ලිපි ගොනුවේ සඳහන් වේ.
ඒ අතර බන්දුල දිසානායක, රූපනාත් වික්‍රමරත්න, චන්න වීරක්කොඩි, ආර්.එස්. බියන්විල, ප්‍රියන්ත සොයිසා, සුනිල් මොහොට්ටි, සුජීව ගොඩලියද්ද, ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල, ප්‍රියන්ත අල්ගම, ජයන්ත ජයවීර, සරත්චන්ද්‍ර සිල්වා, විදානපතිරණ යන විධායක කමිටු සාමාජිකයන්ගේ නම් නිර්දේශ කර ඇතැයි අනාවරණය වේ.
මෙහිදී මූල්‍යමය හෝ වෙනත් ප්රතිලාභ නොගන්නා බවට තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගරු සේවයට පැමිණි මෙම විධායක කමිටු සාමාජිකයන්ට මෙවැනි ආකාරයෙන් වරප්‍රසාද, ප්රතිලාභ ලබාදීම සදාචාරාත්මක නොවන බව එහි සේවකයෝ පවසා සිටිති.
අප මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ, මෙවැනි ආකාරයේ රක්ෂණාවරණයක් විධායක කමිටු සාමාජිකයන්ට ලබාදුන් පළමු අවස්ථාව මෙය නොවන බවත්, මීට පෙරත් මෙවැනි ආකාරයෙන් රක්ෂණාවරණ ලබාදී ඇති බවත්ය.
''මීට කලිනුත් අපි මෙවැනි රක්ෂණාවරණ දීලා තිබෙනවා. අපේ ව්‍යවස්ථාව අනුව ගරු සේවයක් කරන්න ඔවුන් ඇවිත් ඉන්නේ. ඔවුන්ට වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනතුරකදී හෝ වෛද්‍ය පහසුකම් ලබාගැනීමට තමයි අපි රක්ෂණාවරණය ලබාදෙන්නේ. මේක අලුත් දෙයක් නෙමෙයි.'' යැයි ක්‍රිකට් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.