ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කළ අතුරුපාලක මණ්ඩල විසින් ඔලිම්පික් නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීම නිසා වසර 9කට පසුව පැවැති ඔලිම්පික් නිලවරණය දූෂිත නිලවරණයක් වූ බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ, අචාර්ය ප්‍රතිභා මහනාම මහතා ‘අද’ කළ විමසුමේදී සඳහන් කර සිටියේය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ, ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කළ, අතුරුපාලක මණ්ඩලයක් තිබියදී එමෙන්ම ඔලිම්පික් නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස දන්වා තිබියදී බැඩ්මින්ටන් අතුරුපාලක මණ්ඩලය සහ හොකී අතුරුපාලක මණ්ඩලය සිය ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අප කළ විමසුමේදීය.
“පසුගියදා පැවැත් වූ ඔලිම්පික් නිලවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරපු බැඩ්මින්ටන් සංගමයට සහ හොකී සංගමයට තියෙන්නේ අතුරු කමිටු. එයාලට ඡන්දය ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. ඇමතිතුමා අතුරුපාලක මණ්ඩලයක් දැම්මා. ඇමතිතුමා ඒ අයට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස දැනුම් දීලත් තිබෙනවා. එවැනි වටපිටාවක් තුළදී පවා ඔවුන් ඡන්දය ප්‍රකාශ කරලා තිබෙනවා.
මෙහිදී සම්පූර්ණයෙන්ම ක්‍රීඩා නීතිය හැල්ලු වෙනවා විතරක් නෙමේ මේ සම්බන්ධව අගතියට පත් පාර්ශ්වයේ අයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමකුත් සිදුවෙනවා. ඒ නිසා මේ අයට පුළුවන් නඩුවක් ගොනු කරන්න.
මේ අතුරුපාලක මණ්ඩලවලට කිසිම අයිතියක් නැහැ ඡන්දය පාවිච්චි කරන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි අතුරුපාලක මණ්ඩලයේ ඉන්නේ සර්ව ජන ඡන්ද බලයෙන් පත් වූ අය නෙමේ. ක්‍රීඩා ඇමතිතුමා විසින් පත් කරපු අයනේ. දැන් මට ආරංචියක් තියෙනවා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවා රතු එළි ලංකාවට පාවිච්චි කරනවා කියලා. ඇයි මෙහෙම ක්‍රියා කළේ කියලා. ලෝකේ කිසිම රටක මෙහෙම වෙලා නැහැ. අතුරුපාලක මණ්ඩලවලට පුළුවන් නිරීක්ෂකයන් ලෙස සහභාගි වෙන්න විතරයි. නමුත් මෙතන ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. මේක දූෂිත මැතිවරණයක්. ඒ බව මම පැහැදිලිව කියනවා.
මේ මැතිවරණයට එරෙහිව කාට හෝ ගිහිල්ලා තහනමක් ලබාගන්න පුළුවන්. මෙයින් මෙරට ක්‍රීඩා නීතිය උල්ලංඝනය කරලා තියෙනවා. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා මෙරට ක්‍රීඩා ගැන උනන්දුවෙන කාට හෝ මේ සම්බන්ධයෙන් මැදිහත්වෙලා සාධාරණයක් ලබාගන්න පුළුවන් කියලා මම කියනවා.
ඇමතිතුමාට වඩා බලය තියෙනවා සමහර සංගම්වල නිලධාරීන්ට. ඇමතිතුමා නිකන් පුටුවේ ඉඳගෙන හිටියට ඇමතිතුමා පවා වක්‍රව පාලනය කරනවා. ඇමතිතුමා එපා කිවුවට ඡන්දය දුන්නේ කොහොමද කියන එක හොයලා බලන්න ඕන නේ. ඒක නීතියේ බලය හෑල්ලු කිරීමක්. ඇමතිතුමා එපා කිවුවට ඒ අය ඡන්දය පාවිච්චි කරනවා නම් එය පාවිව්චි වෙන්නේ යම් කිසි පරීක්ෂණ කණ්ඩායමක් හරහා. ඒ පරීක්ෂණ කණ්ඩායම මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකියන්න ඕන. මූලික වශයෙන්ම මෙහි වගකීම තියෙන්නේ මෙහි ඡන්දය මෙහෙය වූ කණ්ඩායමට. මෙහිදී නීතියෙන් බැහැරව ක්‍රියා කරලා තියෙනවා. නීතිය තුට්ටුවකට මායිම් කරලා නැහැ.
ඒ නිසා මෙහි සම්පූර්ණ වගකීම යනවා මේ නිලවරණය මෙහෙය වූ කණ්ඩායමට. ඒ නිසා අගතියට පත් පාර්ශ්වයට පුළුවන් මේ ඡන්දය ශූන්‍ය කරන්න කියලා නඩුවක් ගොනු කරන්න. අවුරුදු නවයකට පසුව නිලවරණයක් පැවැත්වීම ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද පැහැදීමකින් හිටියේ. ඒ නිසා ඔවුන්ට දැන් ගැටලුවක් වෙලා තියෙනවා කෙහොමද නුසුදුසු අය පත්වුණේ කියන එක ගැන. ඇමතිතුමාට පුළුවන් පනත අනුව එතුමාගේ බලය පාවිච්චි කරලා ඔලිම්පික් කමිටුව විසුරුවා හරින්න. ඊට පස්සේ තමන්ගේ අධීක්ෂණය යටතේ නැවත නිලවරණය තියන්න.
ක්‍රීඩා සංගම්වල අය ඒ ඒ සංගම්වලට පත් වෙන්නේ මෙරට ක්‍රීඩා නීතියට අනුව. ඒ නිසා ඔවුන් මෙරට නීතියට ගරු කරන්න ඕන. එහෙම නැතුව එයාලට හිතෙන විදිහට වැඩ කරන්න ගියාම රටේ ක්‍රීඩා නීතිය හැල්ලුවට ලක්වෙනවා. දැන්වෙලා තියෙන්නෙත් ඒ දේමයි. මේ සංගම්වල කිසිම පාරිදෘශ්යභාවයක් නැහැ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කියනවා සංගමයේ ගිණුම් නිසි පරිදි විගණනය කරන්න කියලා. එතකොට තමයි පාරිදෘශ්‍යභාවය ඇති වෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ.
ඒවා අති දූෂිතයි. සමහර ඔලිම්පික් තරගාවලි සඳහා රියදුරන්, බිරින්දෑවරු සහ යහළුවන් රැගෙන ගිහින් තියෙනවා. එහෙම කොහොමද ඒ අය යන්නේ. ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයාට පවා මේවා පාලනය කරගන්න බැහැ. මේවාට බලපාන අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒ බලවේග ක්‍රියාත්මක වුණාම ඇමතිතුමාටවත් මුකුත් කරගන්න බැහැ.
ලංකාවේ නීති තිබ්බත්, නීති ක්‍රියාත්මක වුණත් ඒවා අමු අමුවේ උල්ලංඝනය කරනවා. විගණක වාර්තා නැහැ. ඒ විගණක වාර්තා නැති අය පවා පත්වෙනවා. ඊට පස්සේ මේක අතිදූෂිත වෙනවා. මේ නිසා අන්තර්ජාතික ඔලිම්පික් සංගමය පවා අපිව තහනම් කරන්න පුළුවන්. අපි ඒ තහනමට ළංවෙලා ඉන්නේ. හිතන්නකෝ යම් විදිහකින් ජාත්‍යන්තර ඔලිම්පික් සංගමය අපිව තහනම් කළොත් ජාත්‍යන්තරව අපිට තරගවලට සහභාගි වෙන්න බැරි වෙනවා. එතනට තමයි මේ ගමන් කරමින් ඉන්නේ.” යැයි අවසන් වශයෙන් සඳහන් කර සිටියේය.