ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (07දා) සහභාගීවූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇති වාර්තා වන අතර, ඒ අනුව 2019 එක්දින ලෝක කුසලානය තෙක් එක්දින තරග සහ විස්සයි20 තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරීමට නියමිත බව අනාවරණය වේ.
මීට පෙර වාර්තා වූයේ මැතිව්ස් යම් හෙයකින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූයේ නම් වත්මන් ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට 2019 එක්දින ලෝක කුසලානය තෙක් එක්දින තරග සහ විස්සයි20 තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද පැවරීමට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබූ බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට පිරිනමනවාද එසේත් නැතිනම් එය දිනේෂ් චන්දිමාල්ට ලබාදෙනවාද යන්න අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව ඇත්තේ හෙට (09දා) දිනයේදීය.
ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් අප මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු පැවසුවේ, මැතිව්ස් සියයට සියයක්ම සුවය ලබා ඇති බවත්, බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩා කිරීමේ ගැටලුවක් නොමැති බවත්ය.
මෙහිදී ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන ද සිල්වා මහතා,
"මැතිව්ස් බංග්ලාදේශ තරගාවලියට සූදානම්. ඔහු සියයට සියයක්ම සුවය ලබලා ඉන්නේ. එහෙත් අපි නිර්දේශ කළා ඔහුට තවම ටෙස්ට් තරගාවල පන්දු යවන්න එපා කියලා. මැතිව්ස්ට එක්දින තරගාවල පන්දු යවන්න පුළුවන් ශාරීරික යෝග්‍යතාවක් තිබෙනවා. එහෙත් අපි එක පාරටම ඔහුට එක්දින තරගවලදී පන්දු යවන්න නිර්දේශ කළේ නැහැ. පුහුණු තරගාවල පන්දු යවල බලල තමයි ඔහුට පන්දු යවන්න පුළුවන්ද කියලා බලන්නේ.
ඔහුට මේ වනවිට එක්දින තරගවලදී පන්දුවාර 04කට වඩා යොමුකිරීමේ ශාරීරික යෝග්‍යතාවක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව 2019 ලෝක කුසලානය තෙක් පවත්වාගෙන යන්න වැඩපිළිවෙළක් හදන්න" යැයි පවසා සිටියේය.