ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අඛණ්ඩවම අසාර්ථක වීම නිසා ඉදිරියේදී එක්දින කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇතැයි 'අද'ට වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ යෝජනාවකට අනුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම එක් නායකයෙකු යටතේ ක්‍රියාත්මක විය යුතු බැවින් ඉදිරියේදී එක්දින කණ්ඩායමේ නායකත්වයද දිනේෂ් චන්දිමාල්ට හිමිවීමට වැඩි අවස්ථාවක් පවතින බව ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු පෙන්වා දේ.
එය ලබන වසරේ ආරම්භයේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරග සංචාරයෙන් ආරම්භ වනු ඇති බවද එම වාර්තා සඳහන් කරයි. නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් සහභාගි වන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියද මෙය වේ.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම පාකිස්තානය සමග පැවැති පන්දුවාර විස්සයි20 තරග 3ට මෙන්ම, ඉන්දියාව සමග පැවැති එක්දින තරගාවලියට නායකත්වය ලබාදුන් තිසර පෙරේරා නායකයෙකු ලෙස මෙන්ම ක්‍රීඩකයෙකු ලෙසද අසාර්ථක බැවින් එක්දින කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට ලබාදීම කිසිදු අයුරකින් ගැටලුවක් නොවන බව ක්‍රිකට් ප්‍රවීණයෝ පෙන්වා දෙති.
ක්‍රීඩකයෙකු ලෙස ප්‍රථමයෙන් කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගත යුතු ක්‍රීඩකයෙකු පීඩනයකින් තොරව කණ්ඩායමේ නායකත්වයේ වගකීම දරන්නේ කෙසේ දැයි ඔවුහු විමසා සිටිති. තිසර අවසන් වරට මුහුණදුන් එක්දින තරග 20දී පිතිකරුවෙකු ලෙස වාර්තා කර ඇත්තේ අර්ධ ශතක දෙකක් පමණි. එමෙන්ම පන්දු යවන්නෙකු ලෙස දවාගෙන ඇත්තේ කඩුලු 18ක් පමණි.
තවද අවසන් පන්දුවාර විස්සයි20 තරග 20දී පිතිකරුවෙකු ලෙසින් එකදු අර්ධ ශතකයක්වත් වාර්තා කර නොමැති තිසර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 21කි. මෙවැනි දක්ෂතා යටතේ ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමද දුෂ්කර බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වුවද මැතිව්ස් නිරන්තරයෙන් ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට දිනේෂ් චන්දිමාල් වෙත අවධානය යොමුව ඇත. මැතිව්ස්ගේ ආබාධය නිසා ඔහුට නායකයෙකු ලෙස කණ්ඩායමක් ගොඩනගා ගැනීමට අපහසු බැවින් සහ මැතිව්ස් නායකයෙකු ලෙස අසාර්ථක බැවින් ඔහුට වඩා චන්දිමාල් නායකයෙකු ලෙස යොදා ගැනීම වඩා වැදගත් බවද ක්‍රිකට් ප්‍රවීණයෝ සඳහන් කරති.