කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තරග කිරීමට එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරටින් අඩු පහසුකම් සහිත හෝටල්වල නවාතැන් ලබාදුන්නේ යැයි ක්‍රිකට් ආයතනයට පැමිණිල්ලක් ලැබී ඇතැයි 'අද' ට වාර්තා වේ.
තරගාවලිය ආරම්භයට දින 10කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රීඩිකාවන්ගේ නවාතැන් පහසුකම්වල වියදම් දැරීමටද සිදුවී තිබීම හේතුවෙන් අඩු පහසුකම් සහිත කාමර ලබාදීමට පියවර ගැනීම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ.
මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිල වශයෙන් ලබාදුන් දින සඳහා පමණක් නවාතැන් හා අනෙකුත් පහසුකම් ලබාදෙන බවද පැවසේ. කෙසේ වෙතත් තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයකට ප්‍රථම වෙනත් පුහුණු තරග (නිල පුහුණු තරගවලට අමතරව යොදාගත් පුහුණු තරග) සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමෙන් එංගලන්තයේ ශ්‍රී ලංකා නියෝජිතවරයෙකුගේ හා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ඉහළ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරු පහේ හෝටල් වෙනුවට තරු තුනේ හෝටල් පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
එංගලන්තයේ ලෙස්ටර් නගරයේ ස්ටෝනිග්ලිෆ් (Stony Gliff) තරු තුනේ හෝටල් පහසුකම් ප්‍රතික්ෂේප කිරීමට මූලික හේතුවවී ඇත්තේ, එම හෝටල්වල පවතින කාමර ප්‍රමාණයෙන් කුඩා වීමත් පහසුකම් අවම තත්ත්වයක පැවතීම හේතුවෙන් බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් කණ්ඩායම් කළමනාකාරීත්වයේ ඉල්ලීම මත කණ්ඩායමට නවාතැන් ගැනීමට එම තරු තුනේ හෝටලයෙන් අතිරේකව තවත් කාමර 03ක් ලබාදීමට පියවර ගෙන තිබීමෙන් ගැටලුවට තාවකාලිකව විසඳුමක් ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් පවසා සිටියේ, ලබාදුන් තරු තුනේ හෝටලයේ කාමර කුඩා යැයි පැමිණිල්ලක් ලැබී ඇති බවත් අනතුරුව අතිරේකව තවත් කාමර 03ක් ලබාදීමට පියවරගත් බවත්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනුයේ තරගාවලියට පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තරු පහේ හෝටල් පහසුකම් ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට්හි වගකීමක් බවත් එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන් හා නියෝජිතයන් එම වගකීම පැහැර හැර ඇති බවත්ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල ආරාධනා සහිත දින සඳහා නවාතැන් ගැනීමට උසස් තත්ත්වයේ පහසුකම් සහිත හෝටල් පහසුකම් අයිසීසීයෙන් සලසා ඇතැයිද අනාවරණය වේ. ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය මෙම මස 24 වැනිදා ඇරඹෙන අතර එය ජූලි මස 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස 24 වැනිදා නවසීලන්තයට එරෙහිවද 29 වැනිදා ඉන්දියාවට එරෙහිවද ජූලි 12 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවද මූලික වටයේදී තරග වැදීමට නියමිතය.