ඊයේ (25දා) උදෑසන තමා අවදිවන විට ක්රිකට් ක්රීඩාවෙන් විශ්රාම ගත යුතු බවට සිතුණ බවත් ඒ අනුව තමා ක්රිකට් ක්රීඩාවෙන් විශ්රාම ගැනීම තීරණය කළ බවත් ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම වත්මන් ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පැවැසීය.
අනිද්දා (28දා) පැවැත්වෙන් සිය අවසන් එක්දින තරගය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“දඹුල්ලෙන් අයින් වෙන්න කියලා හිතුනේ නෑ. ටෙස්ට් තරග වලදීත් උදේ නැගිටිද්දී තමයි සමුගන්න ඕන කියලා හිතුනේ. ඒ වගේම ඊයේ උදේ නැගිටිද්දී මට හිතුනා දැන් මට ක්රිකට් ක්රීඩාවෙන් සමුගන්න වෙලාව ඇවිල්ලා නවකයෙකුට අවස්ථාව දෙන්න ඕන කියලා. මම බිරිද හා මගේ දෙමාපින් සමග කතා කරලා ඒ තීරණය ගත්තා. මවුබිම වෙනුවෙන් මම අවුරුදු 18ක් සේවය කළා.
මම පිතිකරුවෙක් ලෙස අසාර්ථක වුවහොත් පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට මොකක් කරනවා.එහෙම නැතිවුණොත් පන්දු රැකීමෙන් දුවද්දී දැවී යාමක් හෝ අසිරු උඩපන්දුවක් හෝ ලබාගන්න උත්සාහ කරනවා. එහෙම නැතිවුණොත් පන්දු රැකිමෙන් ලකුණු 10ක් 15ක් හෝ නවතා දමනවා. මගේ සේවය පිළිබඳ තෘප්තිමත්.”
එසේම කොළඹින් පිට තරග පැවැත්වීම කොළඹින් පිට සිටින ජනතාවට හොඳ අවස්ථාවක් බවත් තවදුරටත් කොළඹින් පිටතට තරග ගෙන යා යුතු බවත් ඔහු පැවැසීය.එසේම හොඳ සූදානමක් තිබෙන බවත් තමා ක්රීඩා කළ හැම තරගයක්ම තමන්ට වැදගත් බවත් ඩිල්ෂාන් පැවැසිය.