ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයද පන්දුවාර 21කට සීමා විය. පළමු දිනයේදී පන්දුවාර 11.5ක් යොමුකළ්ය. සුරංග ලක්මාල් පළමු දිනයේදී කැපී පෙනෙන තරුව බවට පත්වෙද්දී සිකුරාදා (නොවැම්බර් 17දා) කොල්කටා පිටියේදී තරුව බවට පත්වූයේ පුජාරාය.
දෙවැනි දිනයේදී තරගය ආරම්භ කළේ නියමිත වේලාවට වඩා විනාඩි 15ක් පෙරාතුවය. ඒ අනුව තරගය පෙරවරු 9.15ට ආරම්භවිය. දිවා ආහාරය සඳහා තරගය නැවැත්වීමට පැය භාගයක කාලයක් තිබියදී වර්ශාව ආරම්භවිය. ක්‍රමයෙන් වර්ෂාව අධික වූ අතර තරගය 2.30ට පමණ අත්හැර දැමීමට සිදුවිය.
ඉන්දියාව කඩුලු 5ට ලකුණු 74ක් රැස්කරගෙන සිටියේය. පුජාරා නොදැවී ලකුණු 47ක් රැස්කරගෙන සිටියි. ඔහු පන්දු 102කට මුහුණ දී ඇත. ඔහුව දවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හැකි උපරිමය කළත් එයින් ආරක්ෂා වීමට පුජාරා සමත්විය.
ඉන්දීය අනෙක් පිතිකරුවන් ගැන සඳහන් කරන්නේ නම් ලෝකේෂ් රාහුල් හා විරාත් කෝලි ලකුණු ලබා ගැනිමට මත්තෙන් පිටියෙන් ඉවත්විය. ශිකර් දවාන් ලකුණු 8ක් රැස්කළේය. රහානේ හා අශ්වින් ලකුණු 4ට දැවී ගියේය. තරගය අත්හැර දමන විට රිද්දිමාන් සහා පුජාරාට හොඳ සහායක් ලබාදෙමින් සිටියේය. ඔහු ලකුණු 6ක් රැස්කරගෙන සිටියි. එකතුවක් වශයෙන් ගත් විට පුජාරා රැසකළ ලකුණු සංඛ්‍යාවෙන් භාගයක් හෝ රැස්කිරීමට අනෙක් පිතිකරුවන්ට නොහැකිවිය.
පහරවල් එල්ල නොකළ යුතු පන්දුවලට පහරවල් එල්ල කිරීමට ගොස් දසුන් ශානකගේ පන්දු හමුවේ රහානේ හා අශ්වින් දැවී ගියේය. ඒ හරහා ඉන්දීය පිතිකරුවන්ට පීඩනය එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ඉන්දියාව දෙවැනි දිනය ආරම්භ කළේ ලකුණු 17ට කඩුලු 3ක් දැවී ගොස් තිබූ අවස්ථාවකය. ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි පුජාරා හා රහානේ කෙසේ ක්‍රීඩා කරයිද යන්න බොහෝ දෙනෙනකු අවධානය යොමුකර තිබුණු ගැටලුවකි. ශානකගේ පන්දුවක් හමුවේ පිතතේ දාරයේ වැදුණ පන්දුව කඩුලු රකින දික්වැල්ල නිවැරදිව රැක ගැනීනේ පසුව රහානේගේ ඉනිම අවසන්විය. ඉන් අනතුරුව ඔහු අශ්වින්ව දවා ගත්තේය. දිනය නිමාකරන විට දසුන් ලකුණු 23ට කඩුලු 2ක් දවාගත්තේය.පන්දුවාර 11ක් යොමුකළ ලක්මාල් ලකුණු 5ට කඩුලු තුනක් දවාගත්තේය.
ඉදිරි දිනයන්ද කාලගුණයෙන් පෙන්වන්නේ සාර්ථක අනාවැකි නොවේ. සෙනසුරාදා දිනයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිවේදනය කරයි. ටෙස්ට් තරගයේ දින දෙකකදී මේ දක්වාම ක්‍රීඩා කළේ එක් හොඳ සැසියක් පමණි. විකට්ටුව මේ ආකාරයෙන්ම පැවැතියහොත් අනිවාර්යෙන්ම තරගය අඩු ලකුණු අනුව තීරණය වෙනු ඇත.