ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට කණ්ඩායම නම්කිරීම මේ සතියේදී සිදුකිරීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් විවිධ මත පැතිරෙන බවට වාර්තා වේ. ඉන්දියාව සහ පාකිස්තානය සමග පැවති තරගාවලියේ දී පූර්ණ පරාජයන් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී එක්දින තරග 3කට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග ස්ථිරව පත්කෙරුණේ පසුගිය ජුලි මාසයේදීය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම අතින් තරගාවලි පරාජයක් ලැබීමෙන් අනතුරුව එවකට නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවය.
ටෙස්ට් නායකයා ලෙස චන්දිමාල් පත්කරමින් උපුල් එක්දින නායකයා බවට පත් කරන්නේ 2019 ලෝක කුසලානයට හොඳ කණ්ඩායමක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව ඇතුවය. කෙසේ වුවද එයින් තරගාවලි දෙකකින් පසු 8-0 ලෙස තමන් නායකත්වය දුන් සියලු තරග පරාජයට පත්ව, තරග දෙකක් නියමිත කාලයට පන්දු ඕවර 50 නොයැවීම නිසා නායකත්වය අහිමි වීමක්ද පෙන්නුම් කරමින් උපුල් අසාර්ථක වී ඇත.
පාකිස්තානු සංචාරයේ දී උපුල් නායකයෙකු ලෙස කිසිදු ආකාරයක ආක්රමණියෙකු නොවූ අතර, පිතිකරුවෙකු ලෙස සාර්ථක විය. මේ නිසා උපුල් එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමි කරගෙන සිටියි.
නිත්‍ය නායකයා ලෙස නොව වැඩ බලන නායකයා ලෙස දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරද්දීත් උපුල්ගෙන් ආක්රමණිකයෙකු දැකගත නොහැකි විය. එම සාක්ෂිය තිබියදීත් තේරීම් කමිටුව උපුල් නායකයෙකු ලෙස කණ්ඩායමට ආනයනය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භක පිතිකරුවෙකු ලෙස ස්ථාවරයක් ගොඩනගාගෙන පැමිණි ධනුෂ්ක ගුණතිලකගේ ගමන සීමා විය.
දැන් අපට ලැබෙන ආරංචි අතර නැවත වරක් මැතිව්ස් නායකත්වයට පත් කිරීමට යෝජනා වී ඇතැයි කියවේ. ඒ සඳහා මැතිව්ස්ගේ කැමැත්තක් නැති බවටද වාර්තාවේ. එය එසේ විය යුත්තේ නායකයෙකු ලෙස මැතිව්ස් එක්දින තරගවල සාර්ථක වූයේ සංගක්කාර, මහේල සහ ඩිල්ෂාන් යන සුපිරි ක්‍රීඩකයන් ක්‍රීඩා කරද්දී සහ මාලිංග සහ කුලසේකර උපරිමයෙන් පන්දු යවද්දී වීම නිසාය.
2015 ලෝක කුසලානයෙන් පසුව එනම් සංගක්කාර, මහේල නොමැතිව මැතිව්ස් තරග 31 දී නායකත්වය දරා ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ තරග 12ක් පමණි. මෙම තරග 12න් 2ක් අයර්ලන්තයට එරෙහිව ලබාගත් ජයග්‍රහණ වන අතර, කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ලැබූ ජයග්‍රහණ 3ක් සහ සිම්බාබ්වේට එරෙහිව ලැබූ ජයග්‍රහණ 2ක් ද ඇතුළත් වේ. මේ කාලයේදී මැතිව්ස් එක්දින තරගාවලි 7කට (චැම්පියන්ස් කුසලානයද ඇතුළුව) නායකත්වය දී ජයග්‍රහණය කර ඇත්තේ කොදෙව්වන්ට එරෙහි තරගාවලිය පමණි.
පාකිස්තානය, නවසීලන්තය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ හමුවේ ඔහුගේ නායකත්වය යටතේ තරගාවලි පරාජයට පත්ව තිබේ. පාකිස්තානය, ඔස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග තරගාවලි පැවැත්වූයේ ශ්‍රී ලංකාවේදීය. මේ අනුව සුවිශේෂ ක්‍රීඩකයන් නොමැති නම් මැතිව්ස් යනු තවත් එක් ක්‍රීඩයෙකු මිස හොඳ නායකයෙකු නොවන බව පැහැදිලිය.
ඔහුට හොඳ නායකයෙකු වීමට අවශ්‍ය තරම් අවස්ථාවන් තිබුණද ඔහු ඒ සියල්ල අත්හැර දැමූ බව පෙනේ. අනෙක් අතින් තමන්ගේ කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකයන් කවුදැයි කියන්නට තරම් හයියක් මැතිව්ස්ට නොතිබූ බවද පසුගිය කාලයේ දැකගත හැකිවිය. ඒ අනුව නැවත වතාවක් මැතිව්ස් නායකත්වයට පත් කරන්නට යමෙකු සිතන්නේ නම් ඔහු අතීතයේ කළේ කුමක්දැයි සිතා බැලිය යුතුය.
දැන් තේරීම් කමිටුව පමණක් නොව කළමනාකාරීත්වයද කළ යුතුව ඇත්තේ මැතිව්ස් පිතිකරුවෙකු ලෙස සියයට සීයක් ලබා දෙමින් ක්‍රීඩා කරනවාදැයි සොයා බැලීමය.
ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ දී අප දුටුවේ ලකුණු රැස් කිරීමට ඇති තරම් අවස්ථා තිබියදී තමන් වෙනුවෙන් ක්‍රීඩා කරන මැතිව්ස් නම් ක්‍රීඩකයාය. මේ නිසා ඔහුගෙන් උපරිමය ගැනීමට අවශ්‍යව තිබේ. එවැනි වටපිටාවක ඔහු නායකයා කරන්නට සිතන්නේ නම් තත්ත්වය තවත් ව්‍යාකූල කිරීමකි.
උපුල් තරංග නායකයෙකු ලෙස අසාර්ථක බව පැහැදිලිය. එහෙත් උපුල් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පිටතදීය. ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියේ දී ඔහු තරග 3ක් අසාර්ථක විය. ඔහුට මැතිව්ස්ට ලැබුණු අවස්ථාවන් ලැබුණේ නැත. මේ නිසා නිවැරදි කාර්යය නම් ඔහුට නිදහසේ කුසලානය නිමා වනතුරු නායකත්වය ලබා දීමයි. එය ඔහුව මැනිය හැකි එකම ක්‍රමයයි.
සාධාරණ ක්‍රමය එය වුවත් උපුල් තරංගද මැතිව්ස් මෙන්ම දුර්වල කණ්ඩායමකට අවශ්‍ය නායකත්වය දෙන ක්‍රීඩකයෙකු ලෙස පෙනෙන්නට නැත. ඔහුද සුපිරි ක්‍රීඩකයන් සිටී නම් හොඳ නායකයෙකි. මැතිව්ස්, කුසල් ජනිත් සහ අසේල ගුණරත්න කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා කණ්ඩායම සමබර කණ්ඩායමක් වෙයි. උපුල්ට මේ කණ්ඩායමට නායකත්වය දීම එතරම් අපහසු නැත. ඒ පැත්තෙන් බලන්නේ නම් උපුල් නායකයා ලෙස දිගටම ක්‍රීඩා කළාට කම් නැත. එහෙත් හොඳ ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වුවහොත් සිදුවන්නේ කුමක්ද?
මේ අවස්ථාවේ දී එක්දින කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ ආක්රමණිකයෙකි. ප්‍රතිවාදියා කොතරම් ප්‍රබල වුවත් අභියෝග කරන්නෙකි. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් මෙවැනි නායකයෙකු බිහිවී ඇත්තේ එක්වරකි. ඒ අර්ජුණ රණතුංගයි. වර්තමාන අර්ජුණ රණතුංග කෙසේ වෙතත් ක්‍රිකට් නගා සිටුවන්නට අවශ්‍ය සමයේ ක්‍රීඩකයන් සොයා ගනිමින් ප්‍රතිවාදීන් හමුවේ බිය නොවී ඉදිරියට යමින් තමන් ඉහළින් සිටින්නේ යැයි ක්‍රීඩකයන්ට ඒත්තු ගැන් වූ නායකයා ලෙස අර්ජුණ දැක්විය හැකිය. දැන් අප සෙවිය යුත්තේ අර්ජුණ කෙනෙකු නොව අර්ජුණගේ වර්ගයේ කෙනෙකි. මෙවැනි වර්ගයේ ක්‍රීඩකයෙකු අපට සිටියිද?
අප අමතක නොකළ යුතු කාරණය වන්නේ නායකයෙකු සහ කණ්ඩායමේ 10දෙනා තෝරා ගැනීමේ පැරණි ක්‍රමය වර්තමානයට නොගැළපෙන බවයි. අප සෙවිය යුත්තේ හොඳ ක්‍රීඩකයන් 11ක් අතරින් නායකයෙකි. ඒ අනුව එක්දින කණ්ඩායමේ ස්ථාවර වී සිටින ක්‍රීඩකයන් අතරින් අනාගතය ගැනද සිතා නායකයෙකු සොයා ගැනීම වැදගත්ය.
තිසර පෙරේරා පාකිස්තානයට එරෙහිව තරුණ විස්සයි විස්ස කණ්ඩායමට නායකත්වය දුන් ආකරය ප්‍රශංසනීයය. එසේම නායකයෙකු ලෙස වගකීමෙන් ක්‍රීඩා කරන බවද ඔහු මේ තරගවලදී පෙන්වූයේය. තිරිමාන්න හෝ චන්දිමාල්ට වඩා එක්දින කණ්ඩායමේ ස්ථාවරයක් තිසරට තිබේ. එසේම ලෝකය පුරා විස්සයි විස්ස ක්‍රීඩා කර අත්දැකීමක්ද තිසරට තිබේ. මේ නිසා උපුල් වෙනුවට කෙනෙකු සොයන්නේ නම් තාර්කිකව ඉදිරියෙන් සිටින්නේ තිසර පෙරේරාය. ඒ හරහා තිසරගේ උපරිමයද ශ්‍රී ලංකා කණ්ඩායමට ගත හැකි බව පෙනේ.
2007 වර්ෂය වනවිට ඉන්දීය කණ්ඩායමේ තෙන්ඩුල්කාර්, ගංගුලි, ලක්ෂ්මන්, ඩ්‍රාවිඩ් යන සුපිරි ක්‍රීඩකයන් සිවු දෙනෙකුම සිටියේය. මේ අතරින් නායකයෙකු ලෙස සාර්ථක වූයේ ගංගුලි පමණි. ගංගුලිගේ අසාර්ථකත්වයෙන් පසුව ඩ්‍රාවිඩ් නායකයා විය. එහෙත් ඩ්‍රාවිඩ්, තරංග වැනි නායකයෙකු විය. මේ නිසා 2007 එංගලන්ත සංචාරය අවසානයේ දී ඩ්‍රාවිඩ් නායකත්වයෙන් ඉල්ලා අස් වූ අතර 2007 ලෝක කුසලානයට කණ්ඩායම සූදානම් කිරීම දෝනිට පැවරුණි.
එය දැවැන්ත අභියෝගයක් වූ අතර දෝනි අසාර්ථක වූයේ 2007 ලෝක කුසලානයෙන් පළමු වටයෙන්ම ඉන්දියාව කැපී යාමෙනි. එහෙත් එයින් පසු ඇරඹෙන්නේ දෝනි යුගයයි. එහි ප්‍රතිඵලය ලෙස ඉන්දියාව විරාත් කෝලි නම් නායකයෙකු අද බිහි කරගෙන සිටියි.
අපට අවශ්‍යව ඇත්තේ දෝනි සහ අර්ජුණගේ සංකලනයකි. මේ මොඩලයට ගැළපෙන දැනට එක්දින කණ්ඩායමේ සිටින එකම ස්ථාවර ක්‍රීඩකයා නිරෝෂන් දික්වැල්ලයි. දික්වැල්ල සම්බන්ධයෙන් ඇති එකම ගැටලුව ඔහු තවමත් එක්දින ජාත්‍යන්තර තරග 29කට පමණක් ක්‍රීඩා කර තිබීමයි. එහෙත් ප්‍රබල පෞරුෂයක් ගොඩනගා ගන්නා ක්‍රීඩකයෙකුට අත්දැකීම් ගැටලුවක් විය නොහැකිය.
මේ සියල්ල ගත්කල උපුල් වෙනුවට කෙනෙකු සොයන්නේ නම් සහ නායකත්වයට සුදුසු කණ්ඩායමේ 11 දෙනාට අයත් ක්‍රීඩයන් ගැන සිතද්දී වඩාත් ඉදිරියෙන් සිටින්නේ දික්වැල්ල සහ තිසර පෙරේරායි. ආපසු හැරෙනවාට වඩා ඉදිරියට යෑම වැදගත්ය. යම් හෙයකින් උපුල් නායකත්වයෙන් ඉවත් කර නායකයෙකු තෝරා ගෙන ඉතිරි ක්‍රීඩකයන් 10 දෙනා සොයා ගන්නා ක්‍රමය අනුගමනය කරන්නේ නම් ටෙස්ට් තරගවලදී වඩාත් ආක්රමණකාරී නායකයෙකු ලෙස සාර්ථක වී සිටින දිනේෂ් චන්දිමාල් ගෙන ඒමට හැකිය.
එහෙත් වඩාත් වැදගත් වන්නේ කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි ක්‍රීඩකයෙකු නායකයා වීම බව යළිත් මතක් කළ යුතුය. මේ කුමනාකාරයෙන් හෝ තෝරා ගන්නා නායකයා කොතරම් අසාර්ථක වුවද ඔහු 2019 ලෝක කුසලානය හමාර වනතුරුම නායකත්වය දැරිය යුතු බවද අමතක කළ යුතු නැත.
ඒ උපුල් තරංගද නැත්නම් නවක නායකයෙකුද යන්න ඉදිරි දින කිහිපයේ දී දැනගත හැකි වනු ඇත.