ආසියානු රටවල් 10ක සහභාගිත්වයෙන් දකුණු කොරියාවේ ජොංජු (Jeonju) නගරයේදී ආරම්භ වූ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදුන් පළමු තරගයෙන් තායිලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයක් අත්විඳීමට පෙරේදා (06දා) සිදුවිය.
වත්මන් ආසියානු යොවුන් ශූරියන් වන ශ්‍රී ලංකාව, තායිලන්තය හමුවේ ලකුණු 53-48ක් ලෙසින් පරාජය වූ අතර, එය මෙරට දැල්පන්දු ඉතිහාසයේ තායිලන්තය හමුවේ පරාජය වූ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.
ශ්‍රී ලංකාව මෙහිදී පළමු කාර්තුව ලකුණු 18-08ක් වශයෙන් පෙරමුණ ගනිමින් ප්රබලව නැගී සිටියද, එම ජයග්‍රාහී රිද්මය තරගය අවසන් වනතෙක් පවත්වා ගැනීමට නොහැකි විය. ඒ අනුව දෙවැනි කාර්තුව 06-14ක්, තෙවැනි කාර්තුව ලකුණු 13-16ක් හා සිවුවැනි කාර්තුව ලකුණු 11-15ක් වශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට තායිලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ.
මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට තරගාවලියේ රැඳීසිටීමට නම් ඉදිරියේදී පැවැත්වෙන පාකිස්තානය (අද), මාලදිවයින හා හොංකොං කණ්ඩායම් වලට එරෙහි තරග ජයගත යුතුව තිබේ. ශ්‍රී ලංකාවට එහිදී හොංකොං කණ්ඩායම සමග තරගය අතිශය වැදගත් හා තීරණාත්මක තරගයක් වනු ඇත.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අර්බුද රාශියක් මේ වනවිට උද්ගතව තිබේ. මෙම අර්බුද පැන නැගීමට මූලික හේතුව වී ඇත්තේ, නිල නායිකාවක් සිටියදී තවත් ක්‍රීඩිකාවක් නායකත්වය ඉල්ලා කණ්ඩායම තුළ ව්‍යාකූලභාවයක් ඇතිකර තිබීම හේතුවෙනි. මේ නිසාම තායිලන්තය සමග පැවැති තරගයේ පරාජයට මෙම නායකත්ව අර්බුදය දැඩිව බලපා ඇතැයි කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කළේය.
කණ්ඩායමේ නිල නායිකාව ලෙස වූ නදී මධුෂිකා ප්‍රනාන්දු වෙනුවට වෙනත් ක්‍රීඩිකාවන් ආදේශ කිරීමට (නිල නොවන වශයෙන්) පියවර ගැනීම හේතුවෙන් ඇයට තායිලන්තයට එරෙහි තරගය පුරාම බංකුවේ සිට තරගය නරඹන්නියක ලෙස කටයුතු කිරීමට සිදුව තිබිණි.
එමෙන්ම එම තරගයේදී පළමු කාර්තුව ශ්‍රී ලංකාව ලකුණු 18-08ක් වශයෙන් පෙරමුණ ගෙන තිබියදී, හුදු පෞද්ගලික අරමුණු සපුරා ගැනීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව, තායිලන්තය හමුවේ පරාජයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්වීමට පෙර සිට නායකත්වය පිළිබඳ ගැටලුව උද්ගතව තිබූ අතර, පසුව ක්‍රීඩා අමාත්‍යවරයාට පවා මීට මැදිහත් වීමට සිදුවිය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්වීමට පෙර අදාළ නිල නොවන නායිකාව වශයෙන් කටයුතු කරන ක්‍රීඩිකාව නායකත්වය ඉල්ලා දැල්පන්දු සංගමයට හා ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපි යොමුකර ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා නායකත්වය වෙනස් කිරීමට දැඩි ලෙස විරුද්ධ වී ඇතැයිද අනාවරණය වේ.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කණ්ඩායම් දෙකකට බෙදී කටයුතු කරන අතර, ශ්‍රී ලංකාවට විවේකී දිනයක් වූ ඊයේ (07දා) දිනයේ ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගයක් වූ හොංකොං - පාකිස්තාන තරගය නැරඹීමට පවා පැමිණ සිටියේ ක්‍රීඩිකාවන් සිවුදෙනෙකු පමණි. ඊට අමතරව පුහුණුකරු තමාරා ලියනගේ, නිලධාරීන් වන රූපා ගුණසේකර හා කුමාරිහාමි යන මහත්මීන් එක්ව සිටියහ.
කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ සමගිය දෙදරීමට දැඩිව බලපා තිබෙන අතර, කණ්ඩායමේ හැඟීමද පහළට වැටී තිබේ.
පළමු තරගයට ක්‍රීඩා නොකළේ පුහුණුකරුගේ තීරණයක් නිසයි
ශ්‍රී ලංකා නායිකා නදී මධුෂිකා ප්‍රනාන්දු
''අපට තායිලන්තය සමග පැවැති තරගයේ ලොකු තරගයක් තිබුණා. අපේ ක්‍රීඩිකාවන් හුඟක් මහන්සි වෙලා හිටියේ. හවසාන් ක්‍රීඩාගාරයේ වායු සමීකරණ දැඩිව ක්‍රියාත්මක කර තිබුණු නිසා අධික සීතලක් තිබුණා. ඒ නිසාම අපේ ක්‍රීඩිකාවන්ට මහන්සිය දැනුණා. එය තරගයේ පරාජයට බලපෑවා.
අපේ මීළඟ තරගය තියෙන්නේ පාකිස්තානය සමගයි. ඒකටත් අපි හොඳ තරගයක් දෙන්න අපේක්ෂා කරනවා. එහෙත් අපි ඉලක්ක කරලා ඉන්නේ හොංකොං කණ්ඩායම සමග තරගයයි. තවමත් අපි අවසන් පූර්ව තරග බලපොරොත්තු අතහැරලා නැහැ. ඒ අභියෝගයට අපි සූදානම් වෙලා ඉන්නෙ.කණ්ඩායමේ නායිකාව වශයෙන් පළමු තරගයට මම ක්‍රීඩා කරන්න බැරි වුණා. එය පුහුණුකරුගේ තීරණයක්. අපි හොංකොං - පාකිස්තානු තරගය නැරඹුවා. හොංකොං කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව අපට අවබෝධයක් තිබෙනවා. අපි එම තරගයට අලුත් සැලසුමක් හදනවා.''
ක්‍රීඩිකාවන්ගේ මානසික බිඳවැටීම තායිලන්තයට පරාජය වීමට හේතුව වෙන්න ඇති
ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකරු තමාරා ලියනගේ
''අපි මේ වනවිට තරග සැලසුම් වෙනස් කරලා තිබෙනවා. අපේ ක්‍රීඩිකාවන්ට මෙය අලුත් අත්දැකීමක්. ඒ වගේම අපේ ළමයින් %ඒසී^ එකේ පුහුණුවීම් කරලා තිබුණේ නැහැ. ඔවුන්ට හුඟක් පුහුණුවීම් මගහැරිලා තිබුණේ. අපි ලංකාවෙන් ආවේ 30 වැනිදා. ඒත් 06 වැනිදා වෙනකම් අපට පුහුණුවට ස්ථානයක් තිබුණේ නැහැ. තරගාවලි කාලය නිසා අපිට ඒක බොහෝ බලපෑවා.
ඒ වගේම පසුගිය වර තරගාවලියේ වගේ ශාරීරික යෝග්‍යතාව සොයාබලන්න මෙවර කමිටුවක් හිටියේ නැහැ. ක්‍රීඩිකාවක් දක්ෂතා අතරට ගේන්න සති හයක්වත් අවම වශයෙන් අවශ්‍යයි. විශේෂයෙන් පුහුණුවීම් නාවලපිටියේ තිබුණු නිසා කොළඹින් පුහුණුකරුවන් ගේන්නත් බැරි වුණා. මම හිතනවා ඒ හානිය අපට වුණා කියලා.
මම උපරිම උත්සාහ කළා කණ්ඩායම ගොඩනගන්න. අපට තිබුණු පුහුණු දවස් 44න් දවස් 20ක්ම අහිමි වුණා. අවුරුද්දට නිවාඩු දුන්නා. ඒකට මම තදින්ම විරුද්ධ වුණා. නාවලපිටියේ පුහුණුව අතිශයින්ම අසාර්ථකයි. මේ වෙනකොට අපි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සමග අපේ සැලසුම් සාකච්ඡා කරලා තියෙන්නේ. විශේෂයෙන් හොංකොං තරගය සඳහා.
නායිකාවක් පත්කළ වග මම දැක්කෙ පත්තරෙන්. එතකොට නායකත්වය පිළිබඳව එක් ක්‍රීඩිකාවකගේ දෙමාපියන් විරෝධතාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමුකරලා තිබුණා. එයට තිබුණු පරීක්ෂණයත් අවලංගු කරලා තිබුණා. එදිනම මම සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂකට කතා කළා. මම එයට දැඩිව විරුද්ධ වුණා. ඒ පත්වුණ නායිකාව ඉතා හොඳ ක්‍රීඩිකාවක්. නමුත් ක්‍රීඩා කරද්දි පළමු හත්දෙනා තුළ සිටිය යුතු ක්‍රීඩිකාවක් ඉවත් කිරීම නිසා මම විරුද්ධ වුණා. ඒවෙලේ මම තනතුරෙන් ඉල්ලා අස්වෙන්නත් ඉල්ලුවා. දැල් පන්දු කියන්නේ තනියෙන් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් නෙමෙයි, කණ්ඩායම් ක්‍රීඩාවක්. පුහුණුකරුටත් පාලනය කරන්න බැරි තරමට මෙම ගැටලුව ගියා.
මම ඉල්ලුවා නායකයා පත්කරන්න පෙර මාව දැනුවත් කරන්න කියලා. මම කාවවත් පත්කරන්න කියලා ඉල්ලුවේ නැහැ. හැබැයි පුහුණුකරු විදියට මට දැනගත යුතුයි නායිකාව කවුද කියලා. එහෙම දැනුම්දීමක්වත් නොකර අපි නායිකාව දැනගත්තෙත් පත්තරෙන්. එහිදී පුහුණුකරු විදියට මම ගොඩක් කලකිරුණා. මොකද මට බලයක් නැති නිසා.
අපි මෙම ගැටලුව ලංකාවෙන් පැමිණියාට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කළා. මම දන්නේ නැහැ ක්‍රීඩිකාවන්ගේ මානසික බිඳවැටීම කොතරම් දුරට හදන්න පුළුවන්ද කියලා. එහි බලපෑම තායිලන්තය සමග තරගයේ පරාජයටත් හේතුවක් වෙන්න ඇති.
දැල්පන්දු සංගමය මේකට වගකිව යුතුයි. මේක සංගමය හා කණ්ඩායම අවුල්කරන දෙයක්. මිස් යසාගේ සභාපතිත්වය අපකීර්තියට පත්කරන්න කළ වැඩක්. කොහොම වෙතත් අපි තවම පරාජය වෙලා නැහැ. අපි උත්සාහ කරනවා ඉතුරු තරග ජයගෙන තරගාවලියේ ඉදිරියට යන්න.''