- තරගාවලියේදී ඇති වූ අර්බුදවලට දැල්පන්දු සංගමයත් වගකිව යුතු බව දන්වයි.
- ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තරගාවලියේ පුහුණු සංචිත පවත්වාගෙන යාම, ජයග්‍රාහී ප්රතිලාභ සඳහා බලපාන ගැටලු අධීක්ෂණය කර නැතැයි චෝදනාවක්
- කණ්ඩායමේ සමගිය බිඳවූ හා කල්ලි නිර්මාණය කළ ක්‍රීඩිකාවට දඬුවම් කළ යුතු යැයි දැල්පන්දු සංගමය නිර්දේශ කර තිබුණද, ඇයට කිසිදු දඬුවමක් නෑ
- සියලු ක්‍රීඩිකාවන් චෝදනාවලින් නිදහස්
පසුගිය මැයි මස දකුණු කොරියාවේ ජොන්ජු නුවර පැවැති 10 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී පසුගියවර ශූරියන් ලෙස ඊට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හා කණ්ඩායමේ අර්බුද සම්බන්ධයෙන් මූලික වශයෙන් වගකිව යුතු පුද්ගලයා ලෙස එම තරගාවලියට පුහුණුකාරිනිය ලෙස එක්වූ තමරා පරගොඩ ලියනගේ මහත්මිය නම් කර තිබේ.
ඒ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සිදුකළ විශේෂ පරීක්ෂණයකිනි. එම පරීක්ෂණය මෙහෙයවූ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට යොමුකළ අදාළ පරීක්ෂණ වාර්තාවෙන් මෙලෙස පුහුණුකාරිනිය වැරදිකරු කර ඇති අතර, ඊට අමතරව එකල දැල්පන්දු පරිපාලනය භාරව සිටි දැල් පන්දු සංගමයද එම තත්ත්වයන්ට ඍජුව වගකිව යුතු බව දන්වා තිබේ.
මීට අමතරව තරගාවලිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, අදාළ තරගාවලිය සඳහා පුහුණු සංචිත පවත්වාගෙන යාම හා ජයග්‍රාහී ප්රතිලාභ සඳහා බලපාන ගැටලු මෙන්ම ප්රශ්නකාරී තත්ත්වයන් පිළිබඳව අදාළ නිලධාරීන් යොදවා නිසි පරීක්ෂණයක් කර නොමැති හෙයින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවද ඊට වගකිව යුතු යැයි නිර්දේශ කර තිබේ.
තරගාවලි පරාජය හා ගැටලුකාරී තත්ත්ව පිළිබඳව පරීක්ෂණය සඳහා පාදක කරගත් කරුණු අතර, ලිඛිත වාර්තා ලෙස තමරා ලියනගේ (පුහුණුකාරිනිය), රේණුකා කුරුප්පු (කළමනාකාරිනිය), වෛද්‍ය දමින්දා අත්තනායක (වෛද්‍ය නිලධාරිනිය) රූපා ගුණසේකර (කණ්ඩායම් නිලධාරිනි) ඩී.එම්.පී. කුමාරිහාමි (ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිත) යන පුද්ගලයන්ගෙන් තොරතුරු ලබාගෙන ඇත.
මෙහි වාචික සාක්ෂි ලෙස ඉහත නිලධාරීන්ගේ සාක්ෂිවලට අමතරව නදී මධුෂිකා (කණ්ඩායම් නායිකා) හෂිනි පෙරේරා (කණ්ඩායම් උපනායිකා), සචිනි හිරුණිකා (නායකත්වය ඉල්ලා සිටි ක්‍රීඩිකාව) යන ක්රීඩිකාවන්ගෙන්ද වාචික සාක්ෂි විමසා ඇත.
කෙසේ වෙතත් හිටපු දැල්පන්දු සභාපතිනි යසා රාමචන්ද්‍ර මහත්මියව අදාළ පරීක්ෂණයට වාචික සාක්ෂි විමසීමට කැඳවා ඇතත්, ඇය ඊට සහභාගි නොවුණු බව පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.
පිටු 05කින් සමන්විත අදාළ පරීක්ෂණ වාර්තාවේ කරුණු අතර, කණ්ඩායම දින 51ක් පුහුණුවීම් කළ යුතුව තිබුණද, ඉන් දින 17ක් පුහුණුවීම් කටයුතු මගහැර ඇතැයි සඳහන් වන අතර, ක්‍රීඩිකාවන් සංචියට තෝරාගැනීමේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් නිසිපරිදි සිදුකර නොමැති බවද අනාවරණය වී තිබේ.
අදාළ තරගාවලියට සහභාගිවූ කණ්ඩායම තුළ අර්බුදකාරී වාතාවරණයක් ඇතිවී තිබෙනුයේ නායකත්වය සම්බන්ධයෙන් බව තහවුරුව ඇති අතර, නායිකාවක් නම් කර සිටියදී කණ්ඩායම තුළ කල්ලි නිර්මාණය කරගනිමින් නායකත්වය ඉල්ලා සිටි සචිනි හිරුණිකා ක්‍රීඩිකාවට කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් හෝ දඬුවමක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත්ව තිබෙනුයේ ඇයිද යන්න ඇත්තේ ගැටලුවකි.
විශේෂයෙන් මීට පෙර හිටපු දැල්පන්දු පරිපාලනයෙන් සිදුකළ පරීක්ෂණයේදී මෙම ක්‍රීඩිකාව ඍජුව වරදකරු කර දඬුවම් ලබාදිය යුතු යැයි ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ පවා ඉදිරිපත් කර තිබියදී, මෙම ක්‍රීඩිකාව නිදොස් කිරීමට පියවර ගැනීමට පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව තහවුරුව තිබේ.
ඒනිසා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් හා නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනුයේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත්කළ මෙවැනි ක්‍රීඩිකාවන් නිදොස් නොකොට නිසිපරිදි විනය ක්‍රියාමාර්ග හෝ දඬුවමක් ලබාදෙන ලෙසයි.
මෙම වාර්තාවෙන් පුහුණුකාරිනිය තරගාවලිය තුළ කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් ගැටලු රැසක් තිබෙන බවත්, ඇය මාධ්‍ය මගින් යම් යම් විවේචන ඉදිරිපත් කිරීමද (සංගමයේ අනුමැතියකින් තොරව) වරදක් ලෙස පෙන්වාදී තිබේ. එසේම ඇය තම වගකීම් හා පුහුණු කටයුතු නිසිපරිදි කිරීමටද අපොහොසත්වී ඇතැයි නිර්දේශ කර තිබේ.
මීට අමතරව සංගමයක් වශයෙන් හිටපු දැල්පන්දු සංගමයද සිය වගකීම් පැහැර හැර ඇතැයි වාර්තාවෙන් පෙන්වාදී තිබේ. තරගාවලියට අවශ්‍ය පුහුණුවීම් කටයුතුවල සිට සියලු කාරණා සම්බන්ධයෙන් හිටපු පරිපාලනය නිසිපරිදි කටයුතු කර නොමැති බව පෙන්වාදී තිබේ.
එමෙන්ම පුහුණුකාරිනිය පක්ෂපාතිත්වය දැක්වූවා යැයි පැවසෙන ක්‍රීඩිකාව වන සචිනි හිරුණිකා ක්‍රීඩිකාවද මෙම පරීක්ෂණයේදී පුහුණුකාරිනියට විරුද්ධව අදහස් පළකර තිබේ. ඒ පුහුණු තරගවලදීත් ප්‍රථම 07 දෙනාගේ අඛණ්ඩ සම්බන්ධතාව ගොඩනගා ගැනීමට පුහුණුකාරිනිය පුහුණු කටයුතු සිදු නොකළා යැයි පවසමිනි.
කෙසේ වෙතත් තරග නැරඹීමේදී ක්‍රීඩිකාවන් රට ගැන නොසිතා සිය පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීමට කටයුතු කළ බව නොරහසකි. එය රූපවාහිනි දර්ශන නරඹන ඕනෑම පුද්ගලයෙකුට අවබෝධ කරගත හැකිය.
ඒනිසා මෙම වාර්තාව අනුව පරාජයට හා අර්බුදවලට හේතුවූ ක්‍රීඩිකාවන් නිදොස් කිරීම ගැටලු සහගත කරුණක් වී තිබේ. මෙහිදී පුහුණුකාරිනිය පමණක් දංගෙඩියට යවා ක්‍රීඩිකාවන් නිදොස් කිරීම අනුමත කළ නොහැකිය. ඒ නිසා හිටපු දැල්පන්දු සංගමයේ සමහර නිර්දේශ පසෙකලා මෙම වාර්තාව සකසා ඇතැයි පැහැදිලිව පෙනී යයි.
මෙහිදී පුහුණුකාරිනිය ප්‍රධාන කරුණු 07ක් යටතේ වැරදිකරු කර ඇති අතර, ඊට නායකත්වය පිළිනොගෙන සම්මත රීතින්ට පටහැණිව ක්‍රියාකිරීම, නායකත්වය විවේචනය කරමින් වෙනත් ක්‍රීඩිකාවන් නායකත්වයට පත්කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම, ක්‍රීඩිකාවන්ගේ මානසිකත්ව බිඳදැමීමට කටයුතු කිරීම, කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අතර පැවැති අසමගිකම් පාලනය කිරීමට අපොහොසත් වීම, නිලධාරීන් හා තේරීම් කමිටුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම යනාදී කරුණුද ඊට අන්තර්ගතය.
මෙම වාර්තාව අධ්යක්ෂ ජනරාල්වරයා වෙතද ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, වාර්තාව තුළින් ලබාදී ඇති නිර්දේශ සලකා බලා දැල්පන්දු සංගමටත්, අදාළ පුහුණුකාරිනියටත් නිසිපරිදි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය.
එමෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපර්තමේන්තුව මෙවැනි තරගාවලි අධීක්ෂණ සම්බන්ධයෙන් මීට වඩා වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතු බව එහි සඳහන් කර තිබේ.
අප මෙම වාර්තාව සම්බන්ධයෙන් වත්මන් දැල්පන්දු සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මියගෙන් කරුණු විමසූ අතර, ඇය පවසා සිටියේ අමාත්‍යාංශය නිර්දේශ ලැබුණු වාර්තාව තමන්ට ලැබුණු විගස එහි නිර්දේශ ක්‍රියාත්මක කරන බවයි.