දකුණු කොරියාවේ පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පරාජයට හේතු වූ සාධක පිළිබඳ හිටපු දැල්පන්දු පරිපාලනය කළ විමර්ශන වාර්තාව මේ වනවිටත් ක්‍රීඩා අමාත්‍යවරයාට හා ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිතව ලබාදී ඇතත්, එහි නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපොහොසත් වී ඇත.
අදාළ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ ලයානි රේණුකා කුරුප්පු මහත්මියගේ වාර්තාව පදනම් කරගනිමින්, හිටපු දැල්පන්දු පරිපාලනය පරීක්ෂණයක් සිදුකර තිබේ. එමගින් තහවුරු වී ඇත්තේ එක් ක්‍රීඩිකාවක් පෞද්ගලික කාරණයක් පදනම් කරගනිමින් සිතාමතා තරගවලදී තරග පරාජයට පත්වන ආකාරයෙන් ක්‍රීඩා කර ඇති බවයි. එමෙන්ම කණ්ඩායමේ සමගිය බිඳවීම හා විනය කඩකිරීම ඇතුළු චෝදනා කිහිපයක්ද එම ක්‍රීඩිකාවට එල්ල වී ඇති චෝදනා අතර වේ.
හිටපු පරිපාලනය ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ, දකුණු කොරියාවේදී ලද පරාජයට එම ක්‍රීඩිකාව ඍජුව වගකිව යුතු බවත්, ඇයට එරෙහිව තහනමක් පැනවීමට ක්‍රියා කරන ලෙසත්ය. ඒ සඳහා වන සියලු සාක්ෂි, ඡායාරූප, රූපවාහිනී දර්ශන හා හඬපට සියල්ලද ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදී ඇතැයිද අනාවරණය වේ.
එහෙත් මේ වනවිටත් අදාළ තීන්දුව ක්‍රියාත්මකව නොමැති අතර, එම ක්‍රීඩිකාව දැල්පන්දු යොවුන් ලෝක කුසලානය සඳහා පිටත්කර හැරීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක මිල්ටන් අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළද, මෙතෙක් එම ක්‍රීඩිකාවට අත්හිටු වූ තහනමක් හෝ පැනවීමට බලධාරීන් අපොහොසත්ව තිබේ.
අප මේ සම්බන්ධයෙන් මිල්ටන් අමරසිංහ මහතාගෙන් කරුණු විමසූවිට ඔහු පවසා සිටියේ, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදුකරන පරීක්ෂණය තවමත් අවසන්ව නොමැති බවයි.
''අපි තවම පරීක්ෂණ කටයුතු අවසන් කරලා නැහැ. තවම අපි සාක්ෂි විමසනවා. පරීක්ෂණ කටයුතු අවසන් වන දිනයක් තවම කියන්නට බැහැ.
හිටපු දැල්පන්දු පරිපාලනයේ නිර්දේශ පිළිබඳව අපි සලකා බලනවා. පරීක්ෂණය අවසන් වුණාම අපිට නිගමනයකට එන්න පුළුවන්. පරීක්ෂණයෙන් හෙළිවන කරුණු අනුව අපි අවසන් තීරණයක් ගන්නවා.'' යනුවෙන් අමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
දකුණු කොරියාවේ පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී හිටපු ආසියානු ශූරයන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූවද, තරගාවලිය නිමා වනවිට ශ්‍රී ලංකාවට හිමි වූයේ සිවුවැනි ස්ථානයයි.
තරගාවලිය පරාජයට පත්වීමට සැලසුම් කළා යැයි හිටපු නායිකා නදී මධුෂිකා ප්‍රනාන්දු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ අතර, පසුව ඇය පැවසූවේ එක් ක්‍රීඩිකාවක් තරග සිතාමතා පරාජයට පත්කිරීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව හිටපු දැල්පන්දු පරිපාලනය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ අතර, එහිදී අදාළ ක්‍රීඩිකාවට දඬුවම් කිරීමටද නිර්දේශ කර තිබුණි.
එහෙත් මේ වනවිටත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වත්මන් දැල්පන්දු සංගමය හා ක්‍රීඩා අමාත්‍යාංශය කල් මරමින් සිටියි. අදාළ නිර්දේශ සම්බන්ධයෙන් අප වත්මන් දැල්පන්දු සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මියගෙන් විමසීමක් සිදුකළ අතර ඇය පවසා සිටියේ, ක්‍රීඩා අමාත්‍යාංශය අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගන්නා තීරණය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බවයි.
''ක්‍රීඩා අමාත්‍යාංශයේ නිර්දේශ අපිට තවම ලැබිලා නැහැ. හිටපු පරිපාලනය නිකුත් කළ වාර්තාව යවලා තියෙන්නේ අමාත්‍යවරයාටයි. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරනවා. එහි නිර්දේශ මත තමයි මට තීන්දුවක් ගන්න වෙන්නේ. එම නිර්දේශ ලැබුණාම අදාළ තීන්දුව ගන්නවා.'' යැයි සභාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.