ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සිංගප්පූරු යෞවනියෝ පෙරේදා (13දා) සමත්වූහ. ඒ මැලේසියාව ලකුණු 47-43ක් වශයෙන් පරාජයට පත්කරමිනි. තියුණු තරගයක් දැකගත හැකිවූ අවසන් මහා තරගයේ ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 10–11ක්, 22-19ක්, 34-34ක් හා 43-47ක් වශයෙනි. මේ අනුව මැලේසියාවට අඛණ්ඩව මෙවරත් අනුශූරතාවෙන් සැහීමට පත්වීමට සිදුවිය.
මේ අතර තෙවැනි හා සිවුවැනි ස්ථාන සඳහා පැවැති ශ්‍රී ලංකාව හා හොංකොං අතර තරගය ලකුණු 58-49ක් වශයෙන් ජයගැනීමට හොංකොං කණ්ඩායම සමත්විය. ආසියානු යොවුන් ශූරියන් වශයෙන් කිරුළ දරා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබැසීම ආරම්භක තරගයේ සිටම (තායිලන්තයට පරාජය වීම) විද්‍යාමාන වූ අතර, තරගාවලියට පැමිණීමට පෙර සිටම නායකත්වය පිළිබඳ ගැටලු පැවතිණි.
සමස්ත තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය පිළිබිඹු වූ අතර මූලික වටයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත්කිරීමට හැකිවුවද, තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදී පරාජයට ඉහත කී ප්‍රධාන හේතු සාධනය ඍජුව බලපා තිබූ බව කිව හැකිය. ඒ කණ්ඩායම, කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා නොකර කල්ලිවලට බෙදී ක්‍රීඩා කිරීම හේතුවෙනි.
ශ්‍රී ලංකාව හා හොංකොං අතර පැවැති තෙවැනි හා සිවුවැනි ස්ථාන සඳහා තරගයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 11- 12ක්, 26-26ක්, 38-43ක් හා 49-58ක් වශයෙනි. ඒ අනුව ශ්‍රී ලංකාවට සිවුවැනි ස්ථානය දක්වා පහළ බැසීමට සිදුවිය.
තරගාවලියේ පසුගියදා (12) පැවති අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු අහිමි කළ සිංගප්පූරුව ශ්‍රී ලංකාව පරාජයට පත් කලේ 58-32 ක් ලෙසිනි.
සමස්ත තරගාවලිය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මාලදිවයින, පාකිස්තානය හා හොංකොං කණ්ඩායම් මූලික වටයේදී පරාජයට පත් කළද, එම සියලු ජයග්රහණයන් අනෙකුත් කණ්ඩායම්වල වැරැදි හා අඩුපාඩු මත ලැබූ ජයග්රහණයන් වන අතර යම්තරමකින් හෝ ශ්‍රී ලංකාව තරගයක් ලබාදුන්නේ මූලික වටයේ පැවැති හොංකොං තරගයේදී පමණි.
එහෙත් එම තරගයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් වැරදි රාශියක් සිදුවනු දැකගත හැකිවිය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ලද දරුණුම පරාජය ලෙස මූලික වටයේදී තායිලන්තයට පරාජය වීම හැඳින්විය හැකි අතර, එය ඉතිහාසයේ තායිලන්තය හමුවේ ලද පළමු පරාජයද විය.
08 වැනි හා අවසන් දිනට පෙරේදා (13දා) දකුණු කොරියාවේ ජොංජු නුවර හවසාන් ක්‍රීඩාංගණයේදී තරග පැවැති අතර එහිදී 05 වැනි ස්ථානය, ඉන්දියාව ලකුණු 64- 30ක් ලෙස පරාජයට පත් කළ තායිලන්තය හිමිකර ගත්තේය.
ඒ අනුව ඉන්දියාව 06 වැනි ස්ථානයෙන් සැහීමට පත්වීමට සිදුවිය. එමෙන්ම 07 වැනි ස්ථානය ලකුණු 51-30ක් ලෙස මාලදිවයින පරාජයට පත්කළ චීන තායි තායිපේ දිනාගත් අතර, පසුගියදා (12දා) දිනයේදී 09 වැනි හා 10 වැනි ස්ථාන සඳහා පැවති තරගයෙන් පාකිස්තානය ලකුණු 35-25ක් ලෙස පරදවමින් සත්කාරක දකුණු කොරියාව ජය හිමිකර ගත්තේය.
තරගාවලියේ සිවුවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (15දා) දිවයිනට පැමිණීමට නියමිතය.
කළමනාකරුට උඩින් නිලධාරිනියක්
මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වූ පසුගිය තරගවලදී පිටිය තුළදී මෙන්ම පිටියෙන් ඉවතදීද කණ්ඩායමේ කළමනාකරුගේ භූමිකාව ඉක්මවා එක් නිලධාරිනියක කටයුතු කරනු දැකගත හැකිවිය. විශේෂයෙන් සිංගප්පූරු තරගයට පෙර දිනයේදී සියලුම කණ්ඩායම්වල ක්‍රීඩිකාවන්ට ජොංජු නුවර චාරිකාවක් සංවිධානය කර තිබුණු අතර, මෙම චාරිකාව අවසන් වීමෙන් පසු එම නිලධාරිනියගේ මැදිහත්වීමෙන් එදින සවස පැවැත්වීමට තිබූ පුහුණු සැසියද අවලංගු කර කණ්ඩායමට හෝටලයේ සුවසේ නිදාගන්නා ලෙස එම නිලධාරිනිය නියෝග කර තිබේ.
එහෙත් සිංගප්පුරු කණ්ඩායම එම චාරිකාව අවසන් කර ඔවුන්ගේ පුහුණු සැසිය නිසියාකාරව සිදුකරනු දැකගත හැකිවිය. මෙම නිලධාරිනිය කණ්ඩායමේ කළමනාකරු අභිභවා යමින් තීන්දු තීරණ ගෙන කණ්ඩායම හසුරුවනු දැකගත හැකි විය.
එසේම ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ආහාරපාන හා අනෙකුත් පහසුකම් ලබාගැනීමට කණ්ඩායම් කළමනාකරු හා තවත් නිලධාරිනියක ලෙස සංචාරයකට එක්වූ හිටපු විනිශ්චකාරවරියක පමණක් සුපිරි වෙළෙඳසැල්වල රස්තියාදු වී එම සියලු භාණ්ඩ රැගෙන හෝටලයට යනවිටත් මෙම බලගතු නිලධාරිනිය සුවසේ හෝටලයට වී නිදිසුව විඳිමින් සිට ඇත. කණ්ඩායමට අවශ්‍ය පුහුණුව ලබානොදී ක්‍රීඩිකාවන්ට නිදාගන්නා ලෙස නියෝග කර ඇත්තේද මෙම බලධාරිනියයි.
කෙසේ වෙතත් සිංගප්පූරු තරග පරාජයෙන් පසුව කළමනාකාරිණිය කඳුළු සලමින් පරාජය වාවාගත නොහැකිව සිටිනු දැකගත හැකිවිය. කණ්ඩායම් කළමනාකාරිය කණ්ඩායමේ සියලු සුඛ විහරණයන් සොයාබලා කටයුතු කරනු පෙනුණද ඊට එහා යමින් බලගතු නිලධාරිනිය ඇයගේ රාජකාරි කටයුතුවලටද බාධා කරනු දැකගත හැකිවිය. මෙහිදී තවත් පිරිසක් පවසා සිටියේ, කණ්ඩායම් කළමනාකාරිනිය‘ගේ 'හම යනවා බලගතු නිලධාරිනියගේ නම යනවා' යනුවෙනි.
(දකුණු කොරියාවේ ජොංජු නුවර හවසාන් ක්‍රීඩාගාරයේ සිට)