එළඹෙන මැයි මස දකුණු කොරියාවේදී ආරම්භ වන වයස අවුරුදු 21 න් පහළ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ (Asian Youth Netball Championship) කණ්ඩායම් වර්ගීකරණය (Draw) පසුගියදා එළිදැක්විණ.
ඒ අනුව පසුගියවර (2015) ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 'ඒ' කාණ්ඩයෙන්ද අනුශූරතාව දිනාගත් මැලේසියාව 'බී' කාණ්ඩයෙන්ද තරග වැදීමට නියමිතය.
මෙවර තරගාවලිය මැයි මස 06 වැනිදා සිට 13 වැනිදා දක්වා දකුණු කොරියාවේ ජේජු දිවයිනේ හවාසාන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව තරග වදින 'ඒ' කාණ්ඩයට හොංකොං, තායිලන්තය, මාලදිවයින හා පාකිස්තානය ඇතුළත්ව ඇති අතර, 'බී' කාණ්ඩයට මැලේසියාවට අමතරව පසුගියවර තෙවැනි ස්ථානය දිනාගත් සිංගප්පූරුව, චීන තායිපේ, ඉන්දියාව හා සත්කාරක දකුණු කොරියාව ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය මැයි මස 06 වැනිදා සවස 7.00ට තායිලන්තය සමගින් පැවැත්වීමට නියමිත අතර මැයි මස 07 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට විවේකී දිනයකි. මැයි මස 08 වැනිදා සවස 03.00ට පාකිස්තානය සමගින්ද 09 වැනිදා සවස 05.00 ට මාලදිවයින සමගින්ද 10 වැනිදා සවස 5.00ට හොංකොං සමගින්ද ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තරග කිරීමට නියමිතය. 11 වැනිදා කණ්ඩායම්වලට විවේකී දිනයකි.
මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග මැයි මස 12 වැනිදා පැවැත්වෙන අතර එහිදී පළමු අවසන් පූර්ව තරගය සවස 3.00ට ද දෙවැනි අවසන් පූර්ව තරගය සවස 5.00ටද පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහා තරගය මැයි මස 13 වැනිදා සවස 4.00ට දකුණු කොරියාවේ ජේජු දිවයිනේ (jeju Island) හවාසාන් ක්‍රීඩාංගණයේදී (hawasan) පැවත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පසුගියවර ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක වන නදී ප්‍රනාන්දුට හිමිව ඇති අතර, 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතිය හිමිව තිබේ.
2015 වසරේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරූ තමාරා ලියනගේට මෙවරද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිත්වය හිමිව තිබේ.
තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ දිනවල නාවල පිටියේදී නේවාසිකව පුහුණුවීම් සිදුකරනු ලබයි.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය
නදී මධුෂිකා ප්‍රනාන්දු (නායිකා), කවීතා රාජපක්ෂ, සපුමලී දිසානායක, ටී.එන්. හපුආරච්චි. ඩී.ජී. පූර්ණි රුක්ෂානි, මල්ෂා රත්නායක, සචිනි හිරුණිකා රොද්‍රිගු, තරුෂි දුලාංජි ඉලංගරත්න, හෂිනි පෙරේරා, චාරුනී මන්දිරා සම්පත්, නිර්මාණි පෙරේරා, එල්.ආර්.ඩී. පෙරේරා, චතුනි හේෂානි, රවින්යා මල්පෝරු, ජී.වී. අකිලා සංජි, පුහුණුකාරිනිය - තමාරා ලියනගේ