තායිවානයේ, තායිපේ නුවරදී පැවැත්වෙන ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි හා අවසන් අදියරේදී මැදි දුර ධාවන ඉසව්වලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් දිනා දීමට ගයන්තිකා අබේරත්න හා ඉඳුනිල් හේරත් සමත් වූහ. එමෙන්ම කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නිමාලි ලියනාරච්චි සමත් විය.
මෙහි සියලු තරග ඉසව් අද (30දා) දිනයේදී තායිවානයේ තායිපේ නුවරදී පැවැත්විණි.
මෙහිදී කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට සහභාගි වූ ගයන්තිකා අබේරත්න තියුණු තරගයකින් අනතුරුව මිනිත්තු 2තත්පර 03.87කින් එම ඉසව්ව නිමා කරමින් එහි පෙරමුණ හිමි කරගැනීමට සමත් වූ අතර, මෙය ඇයගේ මේ තරග සමයේදී හොඳම කාලය වේ.
ගයන්තිකා පසුගියදා (09දා) ශ්‍රී ලංකා මීටර් 800 ධාවන ඉසව්වේ වාර්තාව නැවතත් අලුත් කිරීමට සමත් වූයේ මිනිත්තු 02 තත්පර 2.55කින් එම ඉසව්ව නිමා කරමිනි. කෙසේ නමුත් මෙහිදී ඇයට එම දක්ෂතාව අබිබවා යාමට නොහැකි විය.
මේ අතර එම ඉසව්වටම සහභාගි වූ නිමාලි ලියනාරච්චි තෙවැන්නා ලෙසින් තරගය නිම කළේ මිනිත්තු 02තත්පර 06.30 ක් ලෙසිනි. මෙය නිමාලිගේද මේ තරග සමයේ හොඳම කාලය විය.
මේ අතර පිරිමි මීටර් 800 ධාවන ඉසව්වට සහභාගි වූ ඉඳුනිල් මුණසිංහ මෙහිදී මිනිත්තු 01 තත්පර 51.34කින් තරගය නිම කරමින් එහි රන් පදක්කමට හිමිකම් කීවේය.
කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකාවේ විශාලම පදක්කම් බලාපොරොත්තුවක් වූපිරිමි මීටර් 100 ධාවන ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවක හිමාෂ ඒෂාන්ට මෙවර පදක්කමක් දිනාගැනීමේ අවස්ථාව ගිලිහී ගියේ එම ඉසව්වේ 04 වැන්නා ලෙසින් තරගය නිම කිරීම නිසාවෙනි.හිමාෂ මීට පෙර මෙහි චීනයේ පැවැති පළමු හා දෙවැනි අදියර ද්විත්වයේදීම මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට සමත් විය.
කෙසේ වෙතත් හිමාෂ මෙහිදී තත්පර 10.41කින් තරගය නිමා කිරීමට සමත් වූ අතර,එය මෙවර තරග වාරයේදී ඔහුගේ හොඳම කාලය ලෙසින් වාර්තා විය.
මේ අතර මීටර් 100 කාන්තා ධාවන ඉසව්වට සහභාගි වූ පසුගිය ආසියානු ක්‍රිඩා උලෙළේ රන් පදක්කම්ලාභි රුමේෂිකා රත්නායකට මෙහිදී පස්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය. ඇය එහිදී තරගය නිම කළේ තත්පර 11.87කිනි.
මේ අතර පිරිමි මීටර් 400 තරග ඉසව්වට සහභාගි වූ අජිත් ප්‍රේමකුමාර මිනිත්තු 47.89කින් තරගය නිමා කරමින් එම ඉසව්වේ 05 වැන්නා ලෙසින් තරගය නිම කළද එය ඔහුගේ මෙවර තරගවාරයේ හොඳම කාලය විය.
මෙහිදී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ වාර්තාව හොබවන සුමේධ රණසිංහ මෙන්ම කාන්තා යගුලිය විසි කිරීමේ ශ්‍රී ලංකා වාර්තාව හොබවන තාරිකා කුමුදුමලී සිය ඉසව්වලින් අසාර්ථක වූ අතර, එහිදී සිය පෞද්ගලික හොඳම දක්ෂතා අසලට හෝළඟාවීමට නොහැකි විය.