ගාල්ලේදී ඉන්දියාව හා පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී අබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට පාකිස්තානය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියද අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි.
වම් අතේ මාපටගිල්ල බිඳීමකට ලක්වීමෙන් අසේල ආබාධයට ලක්වූ අතර එම ආබාධයෙන් සුවය ලබා නොතිබීම හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමිවෙනු ඇත. ඉන්දීය කණ්ඩායම හා ඊයේ (03දා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක උපුල් තරංගද මේ බව තහවුරු කළේය.
“ මම හිතන්නේ නෑ ඔහුට පාකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ හැකි වේවි කියා. ඔහු එක්දින තරගාවලියට ක්‍රීඩා කරාවි” යැයි උපුල් තරංග පැවැසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග පහක්, ටෙස්ට් තරග දෙකක් හා විස්සයි20 තරග තුනක් සඳහා පාකිස්තානය සමග ක්‍රීඩා කරීමට නියමිතය.
ඉන්දියාව හා පැවැති පළමු ටෙස්ට් තරගයේ 14 වැනි පන්දුවාරයේදී ශිකර් දවාන්ගේ උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදී අසේල ආබාධයකට ලක් විය. ඔහුට උඩපන්දුවද රැක ගැනීමට නොහැකි විය.
අසේලගෙන් හිස්වන ස්ථානය කවුරුන් විසින් පුරවයිද යනුවෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් තරංග, “ කුසල් ජනිත් වෙන්න පුළුවන් නමුත් ඔහුටත් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කර හැකි වේවි කියා මා සිතන්නේ නෑ.”
ශූරයන්ගේ කුසලාන තරගාවලියට පෙරාතුව පටන් ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධවලින් පීඩාවට පත් විය. ඉන්දියාව පැමිණීමෙන් පසුව අසේල ගුණරත්න, නුවන් ප්‍රදීප්, රංගන හේරත්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල් හා චාමර කපුගෙදර ආබාධයකට ලක් වූහ.