ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එකම විස්සයි20 තරගය අද (06දා) පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සන්ධ්‍යාවේ සිදුකළ පුහුණුවීම් සඳහා අශාන් ප්රියන්ජන්ද එක්ව සිටියේය.
අද තරගය වෙනුවෙන් නම් කළ මූලික සංචිතයට අශාන් ඇතුළත් නොවුණද, ඔහු අවශ්‍ය මොහොතක (stand by) යොදාගැනීම සඳහා මෙලෙස පුහුණුවීම් සඳහා කැඳවා ඇතැයි වාර්තා වේ.
තුන් ඉරියව්වෙන් දස්කම් පාන අශාන් එක්දින තරග වෙනුවෙන් පමණක් ජාත්‍යන්තර වරම් දිනා තිබේ. මැදපෙළ ශක්තිමත් කරන්නෙකු වන ඔහු එක්දින තරග 23කදී (ඉනිම්) ලකුණු 420 ක් රැස්කර ඇති අතර, ඊට අර්ධ ශතක 02ක්ද ඇතුළත් වෙයි. මීට අමතරව ඔහු විසින් කඩුලු 05 ක් බිඳහෙළා ඇත.
කෙසේ නමුත් 2013 වසරේ ජාතික කණ්ඩායමේ ඉඩක් වෙන්කර ගත් අශාන්ට, 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිව නොමැත. අවසන් වරට ක්‍රීඩා කළ තරගයේදීද ඔහුට පන්දුවට පහරදීමට හෝ පන්දු යැවීමට අවස්ථාවක් හිමි නොවීය.