සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය අද (23 වැනිදා) සාජා පිටියේදී පැවැත්වේ.අවසන් වූ තරග 4ම ජයගත් පාකිස්තානුවන් එක්දින තරගාවලියේ සියලු ගෞරව හිමිකරගෙන අවසන්. අද පැවැත්වෙන තරගය ජයගත්තද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියේදී හිමිවන දෙයක් නොමැත.
පසුබෑමට ලක්ව සිටින ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම වෙනුවෙන් පාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී කිසිදු නවක ක්‍රීඩකයෙකු සොයා ගැනීමට අපට නොහැකිවිණි. එපමණක් නොව එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග හැරෙන්නට කිසිදු ජ්‍යෙෂ්ඨ පිතිකරුවෙකුට කණ්ඩායම වෙනුවෙන් දැනෙන යමක් කරන්නට අවස්ථාවක් නොලැබුණි.
පවත්නා සියලු තත්ත්වයන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසි ලෙස පෙනුනද එක දිගට තරග 11ක් පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ දී හෝ නොනවත්වා සිදුවන පරාජයන්ට තිත තබන්නට හැකිවේවා යැයි අපි ප්‍රර්ථනා කරමු.පන්දුවාර විස්සයි20 තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්ව සිටින බැවින් අද තරගයේදී කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට වැඩි සම්භාවිතාවක් පවතී.
බොහෝ දුරට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු විවේක ගන්වා නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කණ්ඩායමට කැඳවීමට අවස්ථාවක් පවතී. විශේෂයෙන්ම උපුල් තරංග විවේකගන්වා වෙනත් ක්‍රීඩකයෙකුට කණ්ඩායම මෙහෙවීමේ වගකීම පැවරීමේ වටපිටාවක් නිර්මාණය වී ඇති අකාරයක් දැකගත හැක. දක්ෂතාවලින් පොහාසත් වුවද පීඩනය හමුවේ සිය දක්ෂතා නොදැක්වීම වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති දුර්වලතාවකි.
එහෙයින් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විවේකගන්වා නවක ක්‍රීඩකයන් කණ්ඩායමට කැඳවුවද පීඩනයක් යටතේ පන්දුවට පහරදීමට මෙන්ම පන්දු යැවීමට හැකි ඉක්මනින් උගත යුතුය. එසේ නොවන්නට පීඩනයෙන් ගැලවී දක්ෂතා අතරට පැමිණීම උගහටය. එබැවින් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දක්ෂතාවන් ගැන විශ්වාසය තබා නිදහසේ පන්දුවට පහරදීමට උනන්දු කළ යුතු යැයි අප විශ්වාස කරන්නෙමු.
ඉණිම කිහිපයකම අසාර්ථක වුවද නිරෝෂන් දික්වැල්ල ඔහුගේ හැකියාවන් ගැන විශ්වාසය තබා තවමත් පන්දුවට පහරදෙන අකාරයක් දක්නට ලැබෙන බැවින් ඔහුගේ විශ්වාසය තව තවත් වැඩිකිරීම වඩා වැදගත්ය. ආරම්භක පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක් ලැබුනහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කරගන්නට අවස්ථාවක් පවතී.
කෙසේ වෙතත් ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබාගත්තද ආරම්භක පිතිකරු යුගලයෙන් එක් පිතිකරුවෙකුට දිර්ඝ ඉණිමක් ගොඩනගන්ට සිදුවේ. ඒ සෙසු පිතිකරුවන් සියලුදෙනාම ලකුණු අතර නොමැති බැවිනි. තවද ඔවුන් පන්දුවට පහරදෙන වේගයද මන්දගාමී බැවින් ආරම්භක පිතිකරුවෙකුගේ සාර්ථකත්වය මත ශ්‍රී ලංකා ඉණිම ගොඩනැගෙන බව මේ අවස්ථාව වනවිට පෙනෙන්නට තිබේ.
ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකුගෙන් එක් පිතිකරුවෙකුගේ සාර්ථකත්වය මත කණ්ඩායමේ සාර්ථකත්වය තීරණය නොවිය යුතු වුවද වර්තමාන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ තත්ත්වය එය බව අපට අකමැත්තෙන් වුවද ලියන්නට සිදුවේ.