ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය බලයට පත්වී වසරක් ඉක්ම යාමට මත්තෙන් එහි සේවකයන් අතිරික්තයක් සිටින බව පවසමින් බහුතර සේවක පිරිසක් පළාත් සහ දිස්ත්‍රික්කවලට අනුයුක්ත කළ අතර තවත් පිරිසකට රැකියා අහිමි කිරීමට පියවර ගත්තේය. එවැනි ප්රතිපත්තියක සිටි වත්මන් ක්‍රිකට් බලධාරීන් මේ වනවිට වැඩි වැටුප් ගෙවමින් අලුත් තනතුරු රැසක් ඇති කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. එලෙස බඳවාගත් මෙම සේවකයන් බඳවාගැනීමේදී නිසි ක්‍රමවේද භාවිත කර නොමැති බවද සමහර තනතුරු සඳහා බඳවාගත් නිලධාරීන් ඒ සඳහා නිසි සුදුසුකම් සපුරා නොමැති බවද ක්‍රිකට් ආයතනයේ වර්තමාන සේවකයෝ පවසති.
සේවකයන් අතිරික්තයක් ඇතැයි පවසමින් එහි සේවකයන් පළාත් සහ දිස්ත්‍රික්කවලට අනුයුක්ත කළ සහ තවත් පිරිසකට රැකියා අහිමිකළ වත්මන් ක්‍රිකට් පරිපාලනය මෙලෙස විනිවිදභාවයකින් තොරව තව තවත් රැකියා ලබාදෙමින් කටයුතු කිරීම ශෝචනීය තත්ත්වයක් බවද එම සේවකයෝ වැඩිදුරටත් පෙන්වාදෙති.
ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය මීට පෙර සියලු රාජකාරි සිදු කළේ මාධ්‍ය කළමනාකරු සහ මාධ්‍ය සහායකගෙන් පමණි. එහෙත් අදවනවිට ඊටද තනතුරු 07ක් එක්ව ඇති අතර එය සිදුව ඇත්තේ මාධ්‍ය අංශයේ කාර්යභාරයන් පුළුල්වීම නිසා බවද පැවසේ. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් තනතුරු කිහිපයක් සඳහා සේවකයන් සහ නිලධාරින් බඳවාගෙන ඇතැයිද හෙළිවේ. එසේම තවත් බලගතු තනතුරක් ඇති කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පසුගියදා සාකච්ඡා කර ඇති අතර, එය ව්‍යර්ථ වී ඇත්තේ දේශීය ක්‍රිකට් භාරව සිටින ලොක්කෙක්ගේ දැඩි විරෝධය හේතුවෙනි. එම තනතුරට පත් කිරීමට යෝජිතව සිටි පුද්ගලයාව මේ වනවිට මෙහෙයුම් ප්‍රධානී (Head of Operations) ලෙස පත්කිරීමේ සූදානමක් පවතින බවද අනාවරණය වේ.
කෙසේ වෙතත් වත්මන් පරිපාලනය බලයට පැමිණි පසු බඳවාගත් සේවකයන් සහ නිලධාරින් පිළිබඳව අප 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තොරතුරු ලිඛිතව ඉල්ලා සිටියද මෙතෙක් එම තොරතුරු ලබාදීමට ක්‍රිකට් ආයතනය අපොහොසත්ව ඇත. ක්‍රිකට් ආයතනයේ තොරතුරු නිලධාරි චාලක එන්. සිල්වා, මාධ්‍ය කළමනාකරු දිනේෂ් රත්නසිංහම් යන මහත්වරුන්ගෙන් මේ පිළිබඳව ලිඛිතව විමසා සිටියේ, පසුගිය ඔක්තෝබර් මස 12 වැනිදාය.
වනවිට ඊට මාසයක් ඉක්ම ගොස් ඇතත් ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ (ඔක්තෝබර් මස 13 වැනිදා) තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 43 වැනි වගන්තියේ සඳහන් පොදු අධිකාරිය යන නිර්වචනයට ඍජු ලෙසම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයත් නොවන බැවින් එම ඉල්ලීම ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමුකර එහි තොරතුරු නිලධාරිවරයා හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබීමට කටයුතු කරන ලෙස ඉල්ලමිනි.
කෙසේ වෙතත් මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්ද අප විමසීමක් සිදු කළ අතර ඔවුන් පවසා සිටියේ, ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයේ සාමාජික සංගමයක් හෙයින් පොදු අධිකාරියට අයත් බවත් එනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු ලබාදීම අනිවාර්යයෙන් කළ යුතු බවත්ය.
මෙවැනි වාතාවරණයක් මධ්‍යයේ ක්‍රිකට් බලධාරීහු ක්‍රීඩා අමාත්‍යාංශයේ සාමාජික සංගමයක් වන ක්‍රිකට් ආයතනය පොදු අධිකාරියට අයත් නැතැයි පවසමින් තොරතුරු ලබාදීම දිගින් දිගටම මගහරිමින් සිටිති. අප මෙම මස 08 වැනිදා ක්‍රිකට් ආයතනයට බඳවාගත් සේවකයන්ගේ සහ නිලධාරීන්ගේ තොරතුරු ඉල්ලා යළිත් අභියාචනයක් ක්‍රිකට් ලේකම්වරයාට, ප්‍රධාන විධායක නිලධාරිවරයාට, තොරතුරු නිලධාරිවරයාට සහ මාධ්‍ය කළමනාකරුට යොමු කළද ඊටද තවමත් ප්‍රතිචාර දැක්වීමට ක්‍රිකට් ආයතනය අපොහොසත්ව තිබේ. එසේ නිසි ක්‍රමවේද ඔස්සේ නිලධාරීන් සහ සේවකයන් බඳවාගෙන ඇතිනම් තොරතුරු ලබාදීම පැහැර හරිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කරන්නේ මන්දැයි යන්න අපට පවතින්නේ ගැටලුවකි.