වසර අටක තම ක්‍රිකට් ඉතිහාසයේ මුහුණදුන් අසීරුම තරගාවලිය මෙය බවත්, කණ්ඩායම අමාරුවේ සිටින මොහොතක තමන් කණ්ඩායම හැර යෑමට කැමැති ක්‍රීඩකයෙකු හෝ නායකයෙකු නොවන බවත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, තරගයෙන් අනතුරුව ඊයේ (14දා) සන්ධ්‍යාවේ පැවැති මාධ්‍ය හමුවකදී තම කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳ අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චන්දිමාල් පවසා සිටියේ, අත්දැකීම් බහුල පන්දු යවන්නන් කිහිප දෙනෙකුම ආබාධ හේතුවෙන් කණ්ඩායම සමග නොසිටීම තරුණ ක්‍රීඩකයන්ට අඩුපාඩු හදාගැනීමට විශාල අවාසියක් වූ බවයි.
තවදුරටත් අදහස් දැක්වූ චන්දිමාල්,"මෙම තරගයේදී අපට අත්දැකීම් බහුල පන්දු යවන්නෙක් හිටියෙ නැහැ. රංගන හේරත්, සුරංග ලක්මාල් හා නුවන් ප්‍රදීප් ආබාධ හේතුවෙන් ක්‍රීඩාකළේ නැහැ. එවැනි තත්ත්වයක තරුණ ක්‍රීඩකයන් හතර දෙනෙක් ක්රීඩාකරද්දි ඔවුන්ට මගපෙන්වන්න අත්දැකීම් තිබෙන පන්දු යවන්නෙක් නොමැති වීම විශාල අවාසියක්. අපි තරුණ ක්‍රීඩකයන්වත් ආරක්ෂා කරගන්න ඕන. කෙසේ නමුත් ලැබුණු කණ්ඩායම ගැන මම සෑහීමට පත්වෙනවා. මෙම කණ්ඩායම අපි තෝරාගත්තේ සමූහිකව කතා කරලා. ඒ හැරෙන්න ශ්‍රී ලංකා කණ්ඩාමේ පරාජයට බාහිර හේතුවක් නැහැ. බොහෝ අය පැරදුණාම විවිධ දේවල් කියන්න පුළුවන්" යැයි පවසා සිටියේය.
වසර අටක ජාත්‍යන්තර තරග අතීතයක් ඇති දිනේෂ් චන්දිමාල්, තමන් මුහුණ දුන් අසීරුම තරගාවලිය මෙය බව පවසා සිටියේය.
"වසර අටක මගේ ක්‍රිකට් තරග ඉතිහාසයේ අසීරුම තරගාවලිය මෙයයි. එයට එක් හේතුවක් වුණා අපට එක් තරගයක්වත් දින පහම ක්‍රීඩා කරන්න නොහැකි වීම. අපේ සැලැස්ම තිබුණේ කොහොමහරි තරග කරන්න. අපි දැනගෙන හිටියා පරාජය වන එක නවත්වන්න අමාරුයි කියලා. නමුත් අපි හැම වෙලාවෙම ක්‍රීඩකයන්ට කිව්වේ සාමාන්‍ය විදිහට ක්‍රීඩා කරලා තරගයක් ලබාදෙන්න කියලා. ඉන්දීය පන්දු යවන්නන් දක්ෂ වුවත්, කඩුල්ල රැකගෙන දවස ඉවරවෙලා පුළුවන් උපරිම දේ කණ්ඩායමට ලබාදෙන්න කියලා."
මෙහිදී චන්දිමාල්ගෙන් විමසා සිටි කරුණක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතා අසීරුවෙන් සිටින මොහොතක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බාරගැනීම හා එය ඔහුගේ හෙට දවසට කිනම් බලපෑමක් එක්කරනු ඇත්දැයි යන්නය. ඒ පිළිබඳ හා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්රීකඩයන් දෙපළ වන තමන් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු අතර නොමැති වීම ගැන අදහස් දැක්වූ චන්දිමාල්,
"අපට සුබවාදීව හිතන්න වෙනවා. මොකද මම කිසිම වෙලාවක කණ්ඩායම අමාරුවේ ඉන්න වෙලාවක දාලා යන්න කැමැති ක්රීඩකයෙකුවත්, නායකයෙකුවත් නෙමෙයි. අපට තියෙනවා තව දේවල් ටිකක් හදාගන්න. ඒ දේවල් අපට එකපාර හදන්න බැහැ. ඒ දේවල් හදාගෙන පියවරෙන් පියවර යන්න ඕන. නායකයෙකු විදිහට මට ලොකු විශ්වාසයක් තියෙනවා මගේ ක්‍රීඩකයන් තව ටික කාලයක් යද්දි, ඒ අයගේ සුපුරුදු දක්ෂතා අතරට ඇවිල්ලා නැවතත් ලංකාවේ ක්‍රිකට්, ජයග්‍රහණ මාවතට ගෙන යන්න තමන් සතු කැපවීම දායකත්වය ලබාදෙයි කියලා. ඒ තත්ත්වයට එන්න සියලු දෙනාගේම තියෙනවා ලොකු උත්සාහයක්. මම විශ්වාසයෙන් ඉන්නවා ඉදිරියේදී අපේ ක්‍රිකට්වලට හොඳ කාලයක් එයි කියලා.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස මටයි, ඇන්ජලෝටයි ලකුණු අතරට ඒමට නොහැකි වීම ගැන ලොකු කනගාටුවක් තිබෙනවා. අපට සුපුරුදු දක්ෂතා අතරට එන්න බැරිවුණා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස අපි ඒකට වගකියනවා. නමුත් අවාසනාවට සියලුම ක්‍රීඩකයන් මේ තරගාවලියේදී අසාර්ථක වුණා. කණ්ඩායම් නායකයා විදියට ටෙස්ට් තරගාවලිය පරාජය වීම ගැන මම වගකීම බාරගන්නවා.
ඒ වගේම ප්‍රේක්ෂකයන් හැමදාම අපට උදව් කරනවා. තරග නරඹන්න ඇවිල්ලා අපේ ක්‍රීඩකයන් ධෛර්යයමත් කරනවා. පල්ලෙකැලේ තරගය පරාජය වුණත්, ඔවුන්ගේ ඔල්වරසන් හඬ අදත් අපට ඇහුණා. ඒක තමයි මේ වේලාවේ කණ්ඩායමට වැදගත්ම දේ. මොකද කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මානසිකව වැටෙන්න දෙන්න හොඳ නැහැ. අපි හරි සැලැස්මක් හදාගෙන යනවා. එහි ප්‍රතිඵල අපට ඉක්මනට නොලැබෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි තරගාවලියේදී හරි ඒ දේ නිවැරදිව කරලා ප්‍රතිඵල ගන්න" චන්දිමාල් පවසා සිටියේය.