ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ අභ්‍යන්තර ගැටලු හේතුවෙන් එහි නිලධාරීන් කිහිපදෙනෙකු මේ වනවිට සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇතැයි 'අද'ට වාර්තා වේ.
එහි ආසන්නතම අවස්ථා ලෙස සම්මේලනයේ උපසභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ විදුහල්පති සුසන්ත මෙන්ඩිස් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සම්මේලනයට යොමුකර තිබේ. මීට පෙර සම්මේලනයේ ලේකම්වරයා වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ කණ්ඩායම් බාර ආචාර්යවරයා වන අමල් ජයසූරිය මහතාද සිය තනතුරින් ඉල්ලා අස්වීම අස්වීමේ ලිපිය භාරදී තිබේ.
මීට ප්‍රධාන හේතුව ලෙස වාර්තා වන්නේ, සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකුගේ පාර්ශ්වයක් විසින් තරගයකදී සිදුවූ සිදුවීමක් අළලා මෙම නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය පත්වී මාස දෙකක් ගතවීමට ප්‍රථමයෙන් මෙලෙස නිලධාරීන් ඉවත් වීම හේතුවෙන් මේ වනවිට සම්මේලනයේ කටයුතු කරගෙන යෑමේ යම් ගැටලුවක් මතුව ඇති බව වාර්තා වේ.
රග්බි ක්ෂේත්රයේ ඇතැම් නිලධාරීන් චෝදනා කරන්නේ, මේ හේතුවෙන් ඉදිරියේදී සම්මේලනය මගින් පැවැත්වීමට නියමිත රග්බි තරගාවලි සංවිධානය කිරීමේ ගැටලුවක් ඇති විය හැකි බවයි. මින් මූලික තරගාවලිය ලෙසින් ඔවුන් පෙන්වා දෙන්නේ, එළැඹෙන 09 වැනිදා ආරම්භ කිරීමට නියමිත අන්තර් පාසල් 20න් පහළ පිළිමළුන් පිටුදැකීමේ (knockout) තරගාවලියයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ භාණ්ඩාගාරික කේ.එස්.පී. කරුණාරත්න මහතා පැවසුවේ, මේ වනවිට තරගාවලිය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් බවයි. තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය ක්‍රීඩාංගණ වෙන්කිරීමේ කටයුතු මේ වනවිට සිදුකර අවසන් බව හෙතෙම සඳහන් කළේය.
පුද්ගලයන් කිහිපදෙනෙකුගේ වුවමනා එපාකම් හේතුවෙන් සම්මේලනයේ වසර ගණනාවක් සේවය කළ නිලධාරීන් මෙලෙස දෙපිළකට බෙදී කුළල් කාගැනීම මෙරට පාසල් රග්බි ක්‍රීඩාවට දැරිය නොහැකි පාඩුවක් බව මතක් කළ යුතුය.
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා අතරින් ජනප්‍රිය ඉසව්වක් වන පාසල් රග්බි සඳහා මෙමගින් සිදුවන බලපෑම තක්සේරු කළ නොහැකි පාඩුවක් බව කුළල් කාගන්නා හා ප්‍රශ්න ඇතිකරන නිලධාරීන් තේරුම් ගන්නේ නම් එය ක්‍රීඩාවේ පැවැත්මට යහපත් වනු ඇත.