අධ්‍යාපන අමාත්‍යංශයේ නිත්‍යනුකූල අනුමැතියකින් තොරව පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් ඉදිරියේදී තරග සඳහා ඉදිරිපත් වන ළමුන්ගෙන් මුදල් අයකරගෙන හැඳුනුම්පත් සැකසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බව 'අදට' වාර්තා වේ. මෙම හැඳුනුම්පත වසර තුනකට වලංගු වන පරිදි සකසන අතර, ඒ අනුව වර්ෂයකට රුපියල් 50 බැගින් රුපියල් 150ක මුදලක් අය කෙරේ.
හැඳුනුම්පත් සැකසීමට අදාළ කරුණු දැක්වෙන පොදු උපදෙස් පෝරමය සෑම පාසලකටම ලබාගත හැකි පරිදි යොමුකර ඇති අතර, එමගින් සෑම ක්රීඩකයෙකුම හා ක්‍රීඩිකාවකම මෙම හැඳුනුම්පත අනිවාර්යයෙන් සකසාගත යුතු බවට නිල නොවන පරිදි අණ කර ඇත.
මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ, හැඳුනුම්පත් සැකසීමට යැයි කියා පාසල් බැඩ්මින්ටන් සංගමය මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක නියැළී සිටින බවයි. විශේෂයෙන් හැඳුනුම්පත් සැකසීමට අයකරගන්නා මුදල් පාසල් බැඩ්මින්ටන් සංගමයේ නීත්‍යනුකූල ගිණුමක් තිබියදී වෙනත් පෞද්ගලික ගිණුමකට බැර කරවා ගැනීම ගැටලු සහගත බව ඔවුන්ගේ අදහසයි.
මෙතෙක් කලක් පාසල් ළමුනට තරග සඳහා ඉදිරිපත්වීමට උප්පැන්න සහතිකය හෝ තැපැල් හැඳුනුම්පත හා පාසලේ විදුහල්පතිවරයා සහතික කළ ඡායාරූපයක් තිබීම ප්‍රමාණවත් විය. එවන් තත්ත්වයකදී මෙලෙස හැඳුනුම්පත් සැකසීමක් සිදුවීම ගැටලු සහගතය. එමනිසා මේ පිළිබඳව සොයාබැලීමක් සිදුකිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් බව අප පෙන්වා දෙමු.
පාසල් බැඩ්මින්ටන් සංගමයට මෙලෙස හැඳුනුම්පත් සැකසීමට අවශ්‍ය මුදල් අයකර ගැනීමට අවසර ලබාදී තිබෙනවා දැයි අප අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී හෙතෙම පවසා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) සුනිල් ජයවීර මහතාගෙන් මේ පිළිබඳ තොරුතුරු විමසන ලෙසයි. ඒ අනුව අප ඒ මහතාගෙන් විමසීමක් කළෙමු.
සංගමයේ ගිණුමක් තිබියදී පෞද්ගලික ගිණුමකට මුදල් බැර වෙනවා නම් ඒක වැරදියි
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) සුනිල් ජයවීර
"හැඳුනුම්පතක් හදනවා කියලා නම් දන්නවා, ඒත් අනුමැතියක් දීලා තියෙනවාද දන්නේ නැහැ. කර්නල් (මංජුල කාරියවසම්) දුන්නද දන්නේ නැහැ. මට කවුරුහරි එක්කෙනෙක් පැමිණිලි කළා මෙහෙම හැඳුනුම්පත් හදනවා කියලා. නමුත් මට ඇත්ත වශයේම ඒ ගැන හොයන්න බැරි වුණා. හැඳුනුම්පතක් නම් හැදුවට කමක් නැහැ, නමුත් සංගමයේ ගිණුමක් තිබියදී පෞද්ගලික ගිණුමකට මුදල් බැර වෙනවා නම් එක වැරදියි. මාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරලා නැහැ. මට පාසල් දෙකකින්ම දුරකථනයෙන් මේ ගැන කිවුවා. ඔවුන් කිවුවා ළමයින්ට මුදල් දෙන්නත් බැහැ, පාසලෙන් දෙන්න ගියොත් විශාල මුදලක් වැයවෙනවා කියලා. සමහර පාසල්වල විශාල ළමුන් සංඛ්‍යාවක් බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා. ඒ නිසා මේ ගැන සොයා බැලීමක් කරනවා".
මම දන්න තරමින් මගෙන් අවසර අරගෙන නැහැ
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ මංජුල කාරියවසම්
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා බාහිර ක්‍රියාකාරකම්) මංජුල කාරියවසම් මහතාගෙන්ද විමසීමක් කළේය.
"මම දන්න තරමින් ඒ අය (පාසල් බැඩ්මින්ටන් සංගමය) මගෙන් අවසර අරගෙන නැහැ. කිසියම් ලිපියකට අත්සන් කළා නම් මම ඒ ගැන දන්නවා. අපි කිසිම ළමයෙකුගෙන් මුදල් එකතු කරන්න අවසර ලබාදෙන්නේ නැහැ. අපි පාසල් සංගම්වලට කියලා තියෙන්නේ සෑම අවස්ථාවකම අනුග්‍රාහකයෙකු හොයාගෙන දෙමාපියන්ටවත්, ළමයින්ටවත් කරදරයක් නොවන ලෙස තරගාවලි පවත්වන්න කියලා.
ඒ නිසයි අපි නීති රීති දාලා ක්‍රමවත් විදිහට කරගෙන යන්නේ. කිසිම අවස්ථාවක අනවශ්‍ය දේවල්වට අනුමැතිය දෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් මම සම්පූර්ණයෙන් හොයා බලනවා. අපි වැරදි දෙයක් කරන්න සංගම්වලට අවස්ථාව ලබාදෙන්නේ නැහැ" යැයි පැවසීය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, මේ පිළිබඳ සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන බවයි.
සංගමයට ආදායමක් උපයාගන්න තමයි හැඳුනුම්පත් හදන්නේ
පාසල් බැඩ්මින්ටන් සංගමයේ භාණ්ඩාගාරික සුජීවා ද සිල්වා
මෙලෙස හැඳුනුම්පත් සකසන්ගේ ඇයි දැයි සහ ඒ වෙනුවෙන් අයකරන මුදල් පාසල් සංගමයේ ගිණුමට බැර නොවී පෞද්ගලික ගිණුමකට බැර කරන්නේ ඇයි දැයි අප පාසල් බැඩ්මින්ටන් සංගමයේ භාණ්ඩාගාරික සුජීවා ද සිල්වා මහත්මියගෙන් කරුණු විමසා සිටියෙමු.
එහිදී ඒ මහත්මිය,
"හැඳුනුම්පත් සැකසීමට අදාළ මුදල් පාසල් බැඩ්මින්ටන් සංගමයේ ගිණුමට මුදල් බැර වෙන්නේ නැහැ. ගනුදෙනු පියවා ගැනීමේ පහසුව නිසයි වෙනත් ගිණුමක් විවෘත කළේ. මොකද අපි හැඳුනුම්පත් හදනකොට ඒ අයට මුදල් ගෙවන්න ඕන. නමුත් අපි සියලුදෙනාම ගුරුවරු. අපේ වැඩකටයුතුත් එක්ක හැඳුනුම්පත් හදන හැම වෙලාවෙම මුදල් ගෙවීම් කර කර ඉන්න වෙලාවක් අපිට නැහැ. ඒ නිසා අපේ නිලධාරීන්ගේ විශ්වාසය මත තමයි එම මුදල් පෞද්ගලික ගිණුමකට බැර කරලා ඒ කටයුතු සඳහා වෙනම කෙනෙක් පත්කරලා තියෙන්නේ.
මේ මුදල් කිහිප දෙනෙකු අතරේ නෙමෙයි, එක්කෙනෙකු අතරෙයි වෙන්නේ. මුදල් සම්බන්ධ වගකීම අපි දරණවා. මේ මුදල් අයකිරීමේදී ගැටලු කිහිපයක් ආවා. සමහර අය අපේ ගිණුමටත් (පාසල් බැඩ්මින්ටන් සංගමයේ) මුදල් දාලා තියෙනවා.
අපේ සංගමයෙන් 2017 ජනවාරි මාසයේ ඉඳන් කිසිම පාසලකින් මුදලක් අය කරන්නේ නැහැ. ෂට්ල්ස්, සහතික, කුසලාන යනාදී ගොඩක් දේවල් අපි දීලා තියෙනවා. ඒවට පාසලකින් මේ දක්වා කිසිම මුදලක් අය කරගෙන නැහැ. ජාතික කනිෂ්ඨ තරගාවලියට නම් අපි ළමයින්ගෙන් මුදලක් අය කරනවා, නමුත් ඒකත් රුපියල් 300කට අඩුයි.
එමනිසා සංගමයට කිසිම ආදායමක් නැහැ. ඒ නිසා තමයි අලුත් යෝජනාවක් විදියට හැඳුනුම්පතක් හදලා ආදායමක් උපයාගමු කියලා පසුගිය වසරේ නාවලපිටියේ පැවැති තරගාවලියේදී සංගමය තීරණය කළේ. අපි වසරකට රුපියල් 50ක් ලෙස වසර තුනට රුපියල් 150ක් අයකර ගන්නවා.
අපට ඕනෑම වේලාවක පාසල්වලින් එකතුවෙලා තියෙන මුදල් ප්‍රමාණය දැනගන්න පුළුවනි. දැනට එකතුවෙලා තියෙන ටික මේ මහ සභා රැස්වීමේදී ඉදිරිපත් කරනවා. සියලුම පාසල්වලින් හැඳුනුම්පත් හදන්න තාම අයදුම්පත් යොමු කරලා නැහැ" යැයි පවසා සිටියාය.