අතුරු කමිටුවක් පත් නොකරන ලෙස කිසිම යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරිපත් නොකළ බවත්, තමන් ක්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳව එහි නිලධාරීන්ව දැනුවත් කළ බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
ඊයේ (07දා) මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මේ බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් පළකළ ක්‍රීඩා අමාත්‍යවරයා,
“උසාවියේ නඩුවක් හේතුවෙන් නිලවරණය පැවැත්වීමට නොහැකිවීම ගැන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපි පැහැදිලි කිරීම් කිහිපයක් සිදු කළා. ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා අපි ඉතාමත් සුහදව සාකච්චා කළා. අතුරු කමිටුවක් පත් නොකරන ලෙස කිසිම යෝජනාවක් ඔවුන් අපිට ඉදිරිපත් කළේ නැහැ. එය ඉතාමත් සාර්ථක සාකච්ඡාවක්. උසාවිය දීපු තීන්දුව නිසා අපිට මේ වන විට නිලවරණයක් පැවැත්වීමට නොහැකියි. ඒ නිසයි මම නිසි බලධාරියෙකු ඊට පත්කළේ. අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඒ කටයුතු ගැන පැහැදිලි කළා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ ඉලක්කය පුළුවන් තරම් ඉක්මනට නිලවරණය පවත්වන්නයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපි අපේ කරුණු ඉදිරිපත් කළා. ඔවුන් අපිට ඔවුන්ගේ කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම තරග පාවාදීම සම්බන්ධයෙන් අපි අලුත් කෙටුම්පතක් ගේන්න යෝජනා කරලා තියෙනවා. අනාගතයේදී තරග පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා මම කැබිනට් මණ්ඩලයට අලුතෙන් කබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් අපේක්ෂා කරනවා“ යැයි පැවසීය.
ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත් නොකරන ලෙස යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රීඩා බලධාරීන්ට ඉදිරිපත් කළේ දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධානියෙකු අයිසීසීයෙන් විමසා ඇති අතර, එහිදී ඔවුන් තහවුරු කර ඇත්තේ එවැනි යෝජනාවක් නොකළ බවටයි.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරී කමල් පද්මසිරි මහතා ඊයේ මාධ්‍යවේදීන් අමතා සඳහන් කර තිබුණේ ගාල්ල ක්‍රීඩාංගණයේ තරග පාවාදීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ජාවාරම්කරුවන්ව නීතියේ රැහැනට හසු කරගැනීමට පියවර ගන්නා බවයි.
“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් සමග මමත්, ක්‍රීඩා අමාත්‍යවරයාත්, ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාත් සාකච්ඡා කළා. අතුරු තහනම් නියෝගය පිළිබඳව අපි ඒ අයව දැනුවත් කළා. ඊළඟ නඩු වාරයේදී ලැබෙන තීන්දුව අපි ඔවුනට දැනුම් දෙනවා. ඊට අමතරව වැදගත් කරුණක් අපි සාකච්ඡා කළා. ඒ ගාල්ල ක්‍රීඩාංගණයේ තරග පාවාදීම පිළිබඳව. ඔවුන් එහිදී සඳහන් කළා රජයක් විදිහට මීට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. අපි අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරලා මේ ජාවාරම්කරුවන්ව නීතියේ රැහැනට හසු කරගැනීමට නීතිමය විධි විධාන ගන්නවා“ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරීයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.