ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 17 වැනි වරට සංවිධානය කරන 'විජයබාහු මොටෝක්‍රොස් - 2019 යතුරුපැදි ධාවන තරගාවලිය මේ මස 25 වැනිදා කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.
තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැති අතර, එහිදී අනාවරණය කර සිටියේ මෙවරද විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම සහභාගි වීමට නියමිත බවයි. ඒ අනුව තායිලන්තය හා ජපානය නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතව ඇත.
තරගාවලියේ එක් තරග ඉසව්වක ජයග්රාහකයාට රු. 50,000 මුදලක් ප්රදානය කරන අතර, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා රු. 30,000 හා රු. 20,000 ලෙස ත්‍යාග මුදල් ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.
ඉෂාන් දසනායක, ඉවෝන් බී ගුරුසිංහ, සමීර ප්‍රේමරත්න, නිහාල් විජේරත්න, ළහිරු ජීවන්ත, බුද්ධික සිල්වා මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විදේශීය ක්‍රීඩකයෙකු වන ජපානයේ ටොමාසෝ සුසුකි ඇතුළුව ප්රමුඛ පෙළේ තරගකරුවන්ගේ රැසක් මෙම තරග ඉතිහාසය තුළ දක්ෂතා දැක්වා ඇත.
යුද්ධයේදී දිවි පිදූ, ආබාධිත තත්ත්වයට පත් වූ සහ දැනට සේවයේ යෙදී සිටින විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධක කටයුතු සඳහා අරමුදල් රැස් කිරීමත්, යතුරුපැදි ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණත් ඇතිව මෙම තරගාවලිය 2000 වසරේදී ආරම්භ කරනු ලැබීය. ආරම්භක අවධියේදී යුද හමුදාවේ යතුරු පැදි ධාවකයින්, වයඹ පළාතේ සහ දිවයින පුරා සිටින යතුරුපැදි ධාවකයින් මේ සඳහා සහභාගි වූහ.
මීට පෙර පැවැත්වූ තරගාවලි හි රැස් කර ගත් අරමුදල් විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයින්ගේ පවුල් සඳහා නිවාස තනාදීම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ යටිතල පහසුකම් ගොඩනැංවීම සහ ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා ශිෂ්‍යත්ව පරිගණක ලබාදීම යනාදී සත්ක්‍රියාවන් සඳහා යොදවනු ලැබීය.
මීට අමතරව යුද හමුදා රාජකාරිහි නියුතු රණවිරුවන් හා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යන් වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ ගෘහස්ථ ක්‍රීඩාගාරයක් සහ ක්‍රීඩාංගණයක් ඉදිකර ඇති අතර, මෙම ක්‍රීඩාගාරය වයඹ පළාත් පාසල් ළමුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩිදියුණු කිරීම සඳහාද ලබාදෙනු ලබයි.