ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඩර්හැම්හිදී පසුගිය සඳුදා (01දා) කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාසල් කණ්ඩායමකටත් වඩා පහත් තත්ත්වයකට පත්වීමට තේරීම් කමිටුව වගකිවයුතු බවට බොහෝ දෙනකුගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.
අන්තර් පාසල් වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ප්‍රධාන කණ්ඩායමක් හෝ මෙවැනි තත්ත්වයකට පත්වන්නේ ඉතාමත් කලාතුරකිනි. එම කණ්ඩායම්වලට තේරීම් කමිටු නොමැති වුවද, බොහෝ පුහුණුකරුවන් ඉතා හොඳ සැලැස්මක් ඇතිව තරගවලට පිවිසෙන බව සියලු දෙනා හොඳින් දන්නා කරුණකි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට පන්දු වාර සංඛ්‍යාව සම්පූර්ණ කිරීම සඳහා පන්දු යවන්නන් සොයා ගැනීමට නොහැකි වීමෙන් ඔහු 33 වැනි පන්දු වාරයක් ක්‍රියාත්මක කළේය. දිමුත් මීට පෙර 2013 වසරේ දෙසැම්බර් මස ඩුබායිහිදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගයකදී තිසර පෙරේරා ආබාධයකට ලක්වූ අවස්ථාවක පන්දුවාර 1.4ක් යවා තිබුණි. ඒ අනුව දිමුත් පසුගිය සඳුදා නැවත එක්දින තරගයකදී වසර හයකට අධික කාලයකට පසුව පන්දු යැවීම කැපී පෙනුණි.
ආබාධයන් හේතුවෙන් මාස 19කට එසේ නැත්නම් වසර එකහමාරකට වැඩි කාලයක් එක්දින ජාත්‍යන්තර තරගයකදී පන්දු යවා නොතිබුණු ඇන්ජලෝ මැතිව්ස්ද පන්දු යැවීමට යොදවා ගැනීමෙන් තත්ත්වය දරුණු වූ බව පැහැදිලිය.
උද්ගත වූ තත්ත්වය පිළිබඳව විස්තර කළ මැතිව්ස්, “මම දැක්කා දිමුත් පන්දු යවන්න කාවහරි සොයමින් ඉන්නවා. මම දිමුත්ට කිව්වා මම පන්දුවාර දෙක දාලා දෙන්නම් කියලා. මාස අටකින් විතර මම පන්දු යවලා නෑ, පුහුණුවීම්වලත් පන්දු යවලා තිබුණේ නෑ. ඒත් මම කිව්වා ප්‍රශ්නයක් නෑ මම දාලා දෙන්නම් කියලා.” යැයි තරගයෙන් පසුව විස්තර කළේය.
ඒ අනුව මැතිව්ස් තරගයේ 48 සහ 50 වැනි පන්දු වාර දෙක යවමින් ශ්‍රී ලංකාවට ජය ගෙන ඒමට සිය දායකත්වය ලබා දුන්නේය. මැතිව්ස් අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගකදී පන්දු යවා තිබුණේ 2017 වසරේදී ඉන්දියාවට එරෙහිවය. මැතිව්ස් ඉනිමේ 44 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී පන්දු රැකීමෙන් ඉවත්ව හතරේ සීමාව අසල පන්දු යෑවීම සඳහා අවශ්‍ය ව්‍යායාමවල නිරත වූ ආකාරයෙන් ඔහු පන්දු යෑවීමට සූදානම් වන බව දැකගත හැකි විය. මැතිව්ස් ඒ අවස්ථාවේදී පන්දු යැවීම ප්‍රතික්ෂේප කළේ නම් දිමුත්ට තිබූ එකම විකල්පය ඒ වන විට ප්‍රහාරයකට ලක්ව සිටි දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ යෙදවීම පමණි. එය එසේ වූයේ නම් තරගයේ ප්‍රතිඵලය වෙනස්වීමට විශාල ඉඩක් තිබුණි.
තවදුරටත් අදහස් දැක්වූ මැතිව්ස්,
“නිකොලස් පූරන් හොඳට පන්දුවට පහර දෙමින් සිටියා. පූරන් ඉතිරි පන්දු වාර තුනත් පන්දුවට පහර දුන්නා නම් තරගයේ කථාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා” යැයි පැවසීය.
තේරීම් කමිටුව මෙම තරගයේදී වෙනස්කම් තුනක් කරමින් ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත සහ ළහිරු තිරිමාන්න කැඳවමින් තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් යන පන්දු යවන්නන් තිදෙනාම බංකුවේ වාඩිකර තැබූහ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සංඛ්‍යාව පහක් බවට පත්වූ අතර, වැන්ඩසේ පන්දු යැවීම ආරම්භ කරමින්ම සීමා ඉරටත් අඩියක් පමණ දුරට යැවූ ‘%වයිඩ්’ පන්දුවෙන් ඔහුගේ පන්දු යැවීම පිළිබඳ අවබෝධ කරගත හැකි විය. නිකොලස් පූරාන් සහ ෆේබියන් ඇලන් සියලුම පන්දු යවන්නන්ට පහර දෙමින් සිටියදී, වැන්ඩසේ කැඳවූයේ නම් පන්දු වාර කීපයක් ඉතිරිව තිබියදී කොදෙව් කණ්ඩායම ජය ලබමින් තරගය අවසන් වීමට වැඩි ඉඩක් තිබුණි.
දැඩි විවේචන තිබියදී සංචිතයට ඇතුළත් කළ ජෙෆ්රි වැන්ඩසේට ලෝක කුසලාන වාර්තා පොතට ඇතුළත් වීමට තරගයක් ලබාදීමට තේරීම් කමිටුව නොඉවසිල්ලෙන් සිටි බව මෙම වෙනසෙන් පැහැදිලිය. මෙම තරගය අවස්ථාවක් කර ගනිමින් වැන්ඩසේට අවස්ථාව දෙමින් පන්දු යැවීමේ බළ ඇණියේ කොන්ද කැඩුවේය. වැන්ඩසේගේ හත්වැනි පන්දු වාරය, ඉනිමේ 31 වැනි පන්දු වාරය විය. ඒ වන විට පූරාන් ප්‍රවේගකාරී පිතිහරඹය දියත් කර නොතිබුණි. නමුත් වැන්ඩසේ ඒ වනවිටත් ප්‍රහාරයට ලක්ව පන්දු වාර හතට ලකුණු 50ක් ලබාදී තිබුණි.
වැන්ඩසේ පන්දු යවන විට ඩර්හැම් ක්‍රීඩාංගණයට දැඩි හිරු රශ්මිය පතිත වී තිබූ අතර, ඒ හේතුවෙන් කාලගුණයේ බලපෑමක් සිදුවූයේ යැයි කිසිදු අවස්ථාවක ප්‍රකාශ කළ නොහැක. වැන්ඩසේට පාලනයකින් පන්දු යැවීමේ හැකියාවක් නොමැති බව ඔහු ක්‍රියාත්මක කළ පන්දු වාර හත තුළදී නිරන්තරයෙන් ප්‍රදර්ශනය විය. නිත්‍ය පන්දු යවන්නන් පස්දෙනාගෙන් මාලිංග, ධනංජය, ඉසුරු සහ රාජිත යන සිවුදෙනා පන්දු වාර 10 බැගින් ක්‍රියාත්මක කරමින් පන්දුවාර 40ක් සම්පූර්ණ කළහ. වැන්ඩසේගෙන් හිස් වූ පන්දු වාර තුනෙන් දෙකක් මැතිව්ස්ද, පන්දු වාරයක් දිමුත්ද සම්පූර්ණ කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වන අවසන් තරගය ඉන්දියාවට එරෙහිව ලබන සෙනසුරාදා (06දා) ලීඩ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම ලීඩ්ස් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී ඊයේ (03දා) පෙරවරුවේ එම තරගය සඳහා වූ පළමු පුහුණු සැසියට සහභාගි විය.
යොහාන් භාසුර (එංගලන්තයේ ලීඩ්ස් සිට)