පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් මෙවර වඩාත් ප්‍රවේශම් සහගතව තරගාවලියට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවත්, ඒ අනුව සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනයට මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාවක් ලැබෙනු ඇති බවත් ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසීය.
අනිද්දා (04දා) ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී ආරම්භ වන පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් පැවසුවේ, මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු ඉසව්වක් වන වන බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් උපරිම දස්කම් දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැදීපැහැදී සිටින බවයි.
බර ඉසිලීමේ ඉසව්වට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට ප්‍රථම අන්තර්ජාතික උත්තේජන මර්දන නියෝජ්‍යායතනය මගින් සිදුකළ පරීක්ෂණ මගින්ද කිසිදු ගැටලුවක් ඔවුන් වෙත ඇති නොවූ බවයි.
මෙහිදී අදහස් දැක්වූ සුබ්‍රමනියම් මහතා,
"අපි ඉතාම සතුටු වෙනවා අපේ පදක්කම් බලාපොරොත්තුවක් වන බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිදු ගැටලුවකින් තොරව (තහනම් උත්තේජක පිළිබඳ) මෙම තරගාවලියට සහභාගි කරවීමට හැකිවීම ගැන. දැන් ඔවුන්ට කිසිදු පීඩනයකින් තොරව සිය ඉලක්ක කරා ගමන් කළ හැකියි" යැයි පැවසීය.
මෙම තත්ත්වය බර ඉසිලීමේ ක්‍රීඩාවට පමණක් නොව අනෙකුත් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පොදුවූ තත්ත්වයක් බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මේ අතර මෙම පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය එළඹෙන ආසියානු තරගාවලියේදී දස්කම් දැක්වීමට හොඳ සන්ධිස්ථානයක් වනු ඇති බවද ඒ මහතා පවසා සිටියේය.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අනිද්දා සිට එළඹෙන 15 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වේ.
ඒස්.ආර්.පතිරවිතාන (ඔස්ට්‍රේලියාවේ ගොල්ඩ්කෝස්ට්හි සිට)